Sunday, October 27, 2024
Follow Us
පොලිස් පප්පලාගෙන් නත්තලට බැලුම්

ඇල්කොලයිසර් බැලූන තොගයක් ගෙන්වීමට සූදානම්


බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමට යොදාගන්නා ඇල්කොලයිසර් බැලූන එක්ලක්ෂ අසූදහසක් ඉදිරි උත්සව සමය මුල්කර ගනිමින් ගුවන් මගින් කඩිනමින් මෙරටට ගෙන්වීමට සූදානම් කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේදී පොලිසිය භාවිත කරන බැලුන්වල (ඇල්කොලයිසර්) දැඩි හිඟයක් පසුගිය මාස කිහිපය තුළ පැවතිණි.

පොලිස් රථවාහන අංශ නිලධාරින් සිදුකරන වැටලීම්වලදී බීමතින් රිය පදවන පුද්ගලයන් හඳුනා ගැනීමට මෙම බැලුන් භාවිත කරයි. ඒවා නොමැතිකම හේතුවෙන් බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීමේදී බාධා සිදුවිය. තවද මේ හේතුවෙන් බීමතින් රථවාහන පදවන බවට සැකකරන පුද්ගලයන් අත්අඩංගුවට ගෙන වෛද්‍යවරයකුට ඉදිරිපත් කර වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව අධිකරණ කටයුතු සඳහා යොමු කිරීමට පොලිසියට සිදුව ඇත. එහෙත් මෙලෙස අත්අඩංගුවට ගන්නා සෑම පුද්ගලයකුම රාත්‍රී කාලයේදී ​ෙවෙද්‍යවරුන් වෙත යොමු කිරීම ප්‍රායෝගික නොවන බව නිලධාරිහු කියති.

සාමාන්‍යයෙන් පොලිසියකට මසකට බැලූන සීයත් තුන්සීයත් අතර ප්‍රමාණයක් අවශ්‍ය බව කියයි. එහෙත් මේ වන විට ඇතැම් පොලිසිවලට බැලූන පනහකටත් අඩු ප්‍රමාණයක් පමණක් ලැබෙන බවද ඇතැම් පොලිසිවලට කිසිවක් නොලැබෙන බවද තොරතුරු අනාවරණය වේ.

අප මේ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූවගෙන් කළ විමසීමේදී ඔහු පැවසූවේ මෙම බැලූනවල හිඟයක් ඇතැයි තමා දැනුවත් නොමැති බවයි. එසේ බැලූනවල හිඟයක් පවතිනවා නම් බීමත් රියැදුරන් හඳුනාගැනීමට ඔවුන් වෛද්‍යවරුන් වෙත යොමු කිරීමට සිදුවන බවද එසේ වුවහොත් සීමිත පිරිසක් පමණක් එලෙස යොමු කිරීමට සිදුවන බවද හෙතෙම කීවේය.

Aruna