Sunday, October 27, 2024
Follow Us
සංවිධානාත්මක ගව සොරකමේ යෙදෙන කල්ලියක් අත්අඩංගුවට

ඉකුත් මාස කිිහිපය තුළදී ගවයින් 26 දෙනකු සොරාගෙන


සංවිධානාත්මක ලෙස ගව සොරකමේ යෙදෙන කල්ලියක වරෙන්තු පනස් එකක් තිබෙන ප්‍රධාන සැකකරු ඇතුළු පුද්ගලයන් තිදෙනකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

එම සැකකරුවන් සමග වෑන් රථයක් ද පොලිස් බාරයට ගෙන ඇත.

කුලී පදනම මත වෑන් රථ ලබාගෙන දීර්ඝ කාලයක සිට ගව සොරකමේ යෙදෙන විවෘත වරෙන්තු ලබා ඇති පුද්ගලයකු තලවතුගොඩ ප්‍රදේශයට වෑන් රථයකින් පැමිණ සිටින බවට බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු ලද තොරතුරකට අනුව සැකකරුවන්ල් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය.

සැකකරු පැමිණි වෑන් රථය පරීක්ෂා කිරීමේදී එම වෑන් රථය පසුපස ගව සොරකමට සරිලන ලෙස සකස් කර තිබූ බව පොලිසිය කියයි.

සැකකරුගෙන් සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී කඩවත ,මීරිගම , බණ්ඩාරගම මිරිහාන, මීගහවත්ත ,රාගම හා කොටදෙණියාව යන පොලිස් වසම් වලින් ඉකුත් මාස කීපය තුළදී ගවයින් 26 දෙනකු සොරාගත් බවට කරුණු අනාවරණය වූ බව පොලිස් නිළධාරියෙකු පැවසීය.

එලෙස සොරාගත් ගවයින් දිවයිනේ හොරරහසේ පවත්වාගෙන යන ගව ඝාතනාගාර සඳහා සපයා ඇති බව වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිසිය කියයි.

සැකකරු ට විරුද්ධව කුලියාපිටිය දුම්මලසූරිය ඇල්පිටිය මීටියාගොඩ මාරවිල පන්නල ගන්දර හුන්ගම හා ලුණුගම්වෙහෙර යන පොලිස් ස්ථාන වලින් ගව සොරකම් සම්බන්ධයෙන් පැවරූ නඩු වලට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් 2018 වසරේ සිට වරෙන්තු නිකුත්කර තිබූ බව පොලිස් විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

කුලී පදනම මත ලබාගත් වෑන් රථයකින් සොරකම් කිහිපයක් සිදු කිරීමෙන් අනතුරුව වෙනත් වාහනයක් කුලී පදනම මත ලබා ගැනීම සැකකරු විසින් ක්‍රමයක් ලෙස යොදාගෙන තිබූ බවත් ප්‍රශ්න කිරීමේදී වැඩිදුරටත් අනාවරණය වූ බව පොලිසිය කියයි.

36 හැවිරිදි වියේ පසුවන සැකකරු ඇල්පිටිය පදිංචිකරුවෙක් බව පවසන පොලිසිය අනිත් පුද්ගලයන් දෙදෙනා වයස අවුරුදු 32 හා 30 අතර පසුවන එම ප්‍රදේශයේම පදිංචිකරුවන් ය.

Aruna