Monday, October 28, 2024
Follow Us
ක්‍රිකට් ආයතනයේ කෝටි 15ක් සෞඛ්‍යයේ හිරවේ

සල්ලි දුන්නට පිළිකා රෝගීන්ට බෙහෙත් තාම නෑ


මහරගම අපේක්ෂා රෝහලේ හිඟ ඖෂධ මිලදී ගැනීම සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුපියල් කෝටි පහළොවක (ඩොලර් ලක්ෂ පහක) ආධාරයක් ලබාදී ඇති නමුත් තවමත් එම මුදල ඖෂධ මිලදී ගැනීම සඳහා යොදාගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කර නොමැති බවට අනාවරණය වෙයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඩොලර් ලක්ෂ පහක මුදල පරිත්‍යාග කිරීම සිදුවූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත වන අතර පසුගිය සැප්තම්බර් මස දාසයවැනිදා එම මුදල් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් චෙක්පතක් හරහා සෞඛ්‍ය අමාත්‍යාංශයට ලබාදී තිබේ.

අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන්ට අත්‍යවශ්‍ය ඖෂධ හිඟවන බව ප්‍රසිද්ධියට පත්වීමත් සමග පරිත්‍යාගශීලින් රැසක් ඒ සඳහා ආධාර කිරීමට ඉදිරිපත්වී ලබා දුන් මුදල්ද සෞඛ්‍ය අමාත්‍යාංශය භාරයේ රඳවාගෙන ඇති නමුත් ඖෂධ මිලදී ගැනීමට විධිමත් ලෙස යොමු වීම ප්‍රමාද වී ඇත.

එසේම පෙරේදා (29) පාර්ලිමේන්තුවේ පැවති සෞඛ්‍ය අමාත්‍යාංශ වැය ශිර්ෂයට අදාළ විවාදයේදිද අත්‍යවශ්‍ය පිළිකා ඖෂධ හතළිහක පමණ හිඟයක් ඇති බව අනාවරණය විය.

එම හිඟ ඖෂධ අතුරින් ඖෂධ විස්සකට ආසන්න ප්‍රමාණයක් පිළිකා රෝගීන් සඳහා නිකුත් කරන ඖෂධ බවට මේ වනවිට තොරතුරු හෙළිව තිබේ.

අදාළ ඖෂධ මිලදී ගැනීම් සඳහා ටෙන්ඩර් කැඳවීම ප්‍රමාද කිරීමක් සෞඛ්‍ය අමාත්‍යාංශය පාර්ශ්වයෙන් සිදුකරන බවට එම අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

හිඟ ඖෂධ සම්බන්ධයෙන් කලින් දැනුම් දෙනු ලැබුවද ටෙන්ඩර් පිරිවිතර ඇතුළු විවිධ කොන්දේසි ගෙන හැර දක්වමින් විධිමත් මිලදී ගැනීම් පමා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බලධාරින් කටයුතු කරන බවටත් ඇතැම් නිලධාරීන්ට සෞඛ්‍ය වෘත්තීය සමිති චෝදනා එල්ල කර ඇත.

Aruna