Monday, October 28, 2024
Follow Us
නුවරඑළියේ ළමයි මිටි වෙලා කිලිනොච්චියේ උස ගිහින්

අවුරුදු 5ට අඩු දරුවන් 18,420කට උග්‍ර මන්දපෝෂණය


මෙරට වයස අවුරුදු පහට අඩු දරුවන්ගෙන් දහඅටදහස් හාරසිය විසිදෙනකු (18420) උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන බවට තහවුරු වී තිබේ. පෝෂණ මාසය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ පවුල් සෞඛ්‍ය සේවා කාර්යාංශය එක්ව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස තුන්සිය පනස්තුනක් ඉලක්ක කරගනිමින් වයස අවුරුදු පහට අඩු ළමයින් දහතුන්ලක්ෂ හැටතුන්දහස් හත්සිය හතළිස්හතක් යොදාගෙන පසුගිය සැප්තම්බර් මාසයේ සිදුකළ සමීක්ෂණයේදී මේ බව තහවුරු වී ඇත.

මෙම සමීක්ෂණයට අනුව උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන්ගේ ප්‍රතිශතය සියයට එකයි දශම හතරකි (1.4%).

ඒ අනුව උග්‍ර මන්දපෝෂණයෙන් පෙළෙන වැඩිම දරුවන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් සහ ගාල්ල දිස්ත්‍රික්කයෙනි

මෙම සමීක්ෂණය සඳහා වයස අවුරුදු පහට අඩු දරුවන්ගේ සියයට අනුපහක (95%) බර, උස සහ කෘෂභාවය පිළිබඳ දත්ත ලබා ගැනීමට කටයුතු කළේය.

ඒ අනුව වයස අවුරුදු පහට අඩු ළමුන්ට බර, උස, කෘෂභාවය යන සියලු නිර්ණායක යටතේ මන්දපෝෂණය ඇති බවට තහවුරු වී ඇත.

මෙම සමීක්ෂණයට අනුව කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් පමණක් වැඩි බර දරුවන් සහ උසින් වැඩි දරුවන් හඳුනාගැනීම විශේෂත්වයකි.

කොළඹ මහනගර සීමාව තුළ සිටින ළමුන් සියයට හැටනවයයි දශම අටක ප්‍රතිශතයක උස, බර අඩු වී ඇති අතර කෘෂභාවයද වැඩිවී තිබේ.

මේ අතර මන්දපෝෂණයේ මුල් අවස්ථාවේ සිටින ළමුන්ගේ ප්‍රතිශතය සියයට විසිහතරයි දශම අටකි (24.8%). ඒ අනුව මන්දපෝෂණයේ මුල් අවස්ථාවේ වැඩි දරුවන් පිරිසක් අම්පාර දිස්ත්‍රික්කයෙන් වාර්තා වන අතර පිළිවෙළින් අනුරාධපුර සහ මාතර දිස්ත්‍රික්කවලින්ද මන්දපෝෂණයේ මුල් අවස්ථාවේ සිටින දරුවන් හඳුනාගෙන තිබේ.

අඩු බර සහිත දරුවන් සියයට පහළොවයි දශම තුනක් දක්වා වර්ධනය වී තිබේ. එය පසුගිය වසරට සාපේක්ෂව සියයට තුනයි දශම එකක (3.1%) වැඩිවීමකි.වැඩිම අඩුබර සහිත ළමුන් වාර්තා වී තිබෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි.

කෘෂභාවයෙන් පෙළන දරුවන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් වන අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට දහතුනයි දශම පහකි(13.5%)

ගාල්ල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලින් කෘෂභාවය වැඩි දරුවන් සොයා ගෙන ඇත.

මෙම වයස් කාණ්ඩයේ ළමුන්ගෙන් සියයට නවයයි දශම දෙකක්(9.2%) ප්‍රතිශතයක් මිටි දරුවන් බවට හඳුනාගෙන ඇත.

ඒ අනුව වැඩිම උසින් අඩු (මිටි) ළමුන් වාර්තා වි ඇත්තේ නුවරඑළිය දිස්ත්‍රික්කයෙනි. පසුගිය වසරට සාපේක්ෂව සෑම දිස්ත්‍රික්කයකින්ම මිටි ළමුන් වැඩි වශයෙන් හඳුනාගත් බව ප්‍රජා විශේෂඥ වෛද්‍ය කෞෂල්‍යා කස්තුරිආරච්චි පැවසුවාය. සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇය මේ බව හෙළි කළාය.

Aruna