Monday, October 28, 2024
Follow Us
පානදුරේ වෙඩිතැබීමක්

පානදුර උණුසුම් වෙයි


පානදුර සිල්වන් පටුමගේ ඊයේ (30) රාත්‍රි 10.00ට පමණ වෙඩිතැබීමක් සිදුව ඇතැයි පානදුර දකුණ පොලීසිය පවසයි.

කොළඹ අලුත්කඩේ උසාව්යේ රාජකාරි කරන නීතිඥවරයෙකු විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවත්, වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැති බවත් පොලීසිය සඳහන් කළේය.

සැකකාර නීතිඥවරයා සහ ඔහු සමග පැමිණි තවත් කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්, වෙඩිතැබීමට යොදාගත් මිලිමීටර් 9 වර්ගයේ උණ්ඩ යෙදිය හැකි පිස්තෝලය සහ ඔවුන් පැමිණි සුඛෝපභෝගී ජීප් රථයද පොලිස් භාරයට ගෙන ඇති බවත් පොලීසිය පවසයි.

කෙසේවෙතත් අදාළ පිස්තෝලය සඳහා බලපත්‍රයක් නොතිබූ බව ද පොලීසිය සඳහන් කළේය.

වෙඩිතැබීම සිදුකර ඇති නීතිඥවරයාගේ හිතවත් කාන්තාවක විසින් පානදුර ප්‍රදේශයේ පුද්ගලයෙකුට ණය මුදලක් ලබාදී ඇත.

එය නැවත නොගෙවීම හේතුවෙන් ණය මුදල ලබාදුන් කාන්තාව තවත් කාන්තාවක සහ නීතිඥවරයා සමග පානදුර සිල්වන් පටුමගේ පදිංචි ණය ලබාගත් අයගේ නිවස වෙත පැමිණ තිබේ.

එහිදී දෙපිරිස අතර කතාබහක් ඇතිව ඇති බවත්, ප්‍රතිවාදී පිරිස නීතිඥවරයාට පහරදීම සූදානම් වීමේදී ඔහු සඟවාගෙන සිටී 9 එම්.එම් වර්ගයේ ගිනිඅවියෙන් අහසට වෙඩිතබා ඇති බවටත් මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුව ඇතැයි පොලීසිය පැවසීය.

නීතිඥවරයා පැමිණි සුඛෝපභෝගී ජීප් රථයටද හානි සිදුව තිබුණි.

පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන්ද පරීක්ෂණ සිදුකළ අතර, වෙඩිතැබීම සිදුකළ ස්ථානයේ වැටී තිබූ මිලිමීටර් 9 වර්ගයේ පතුරම් හිස් කොපුවක් සොයාගත් බවද පොලීසිය පැවසීය.

සැකකරුවන් අද පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

පානදුර දකුණ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි

Aruna