Monday, October 28, 2024
Follow Us
නොරොච්චෝලේ පණ අදී

ගල් අඟුරු නැව් 38න් ආවේ 4යි


ගල් අඟුරු අවශ්‍යතාව අනුව සැපයීමට නොහැකි තත්ත්වයක් උදා වීම නිසා ඉදිරි වසරේ විදුලි නිෂ්පාදනය දැඩි අවිනිශ්චිත තත්ත්වයකට මුහුණ දීමට සිදුවන බව නොරෝච්චෝල ලක්විජය බලාගාර කළමනාකාර නාලක විජේකෝන් පවසයි.

ලංකාවේ ප්‍රධාන විදුලි ධාරිතාව රැගෙන යන ප්‍රධාන බලාගාරය නොරෝච්චෝල ලක්විජය බලාගාරයයි. ලක්විජය බලාගාරය ශ්‍රී ලංකාවේ විදුලි අවශ්‍යතාවයෙන් සියයට 40 කට වැඩි නිෂ්පාදන දායකත්වයක් ලබා දෙනවා. වාර්ෂිකව මෙම බලාගාරයෙන් ගිගාවෝට් 5400ක් විදුලි අවශ්‍යතාව ලබා දීම සිදු වෙනවා. එසේ විශාල ධාරිතාවයක් ලබා දීමට ගල් අඟුරු ටොන් මිලියන දෙකක් පමණ අවශ්‍යයි. ගිගාවෝට් පැය 5400 ක විදුලිය නිපදවන්න ගල් අඟුරු නැව් 38 ක් වාර්ෂිකව අවශ්‍යයියැයිද ඔහු කීය.

ඔහු මෙසේද කීය.

එම නැව් ප්‍රමාණයෙන් අඩක් මේ වන විට පැමිණීම අනිවාර්යයි. එයට හේතුව වාරකන් කාලයට පෙර ගල් අඟුරු නැව් 38 ක ගල් අඟුරු තොග නොරෝච්චෝල ගල් අඟුරු බලාගාරය භුමියට ළඟා වී ගොඩ බෑම අවසන් කළ යුතුයි.

වාරකන් කාලය නැවත පටන් ගන්නේ 2023 අප්‍රේල් මාසයෙ. ඒ වන විට සියලු ගල් අඟුරු ගොඩ බා අවසන් විය යුතුයි. එසේ වන්න නම් මේ වන විට අඩුම තරමින් එයින් අඩක් බලාගාර භූමියට ගොඩබෑම සිදුවිය යුතුයි.

නමුත් මේ වන විට අපිට ලැබී ඇත්තේ ගල් අගුරු නැව් හතරක් පමණයි. තව එක නැවක් පැමිණීම සිදුවෙනවා. එය තාමත් ළඟා වී නැහැ. මේ තත්ත්වය අනුව එළඹෙන වසර තුළදී ලක්විජය බලාගාරය නිපදවන සමස්ත විදුලි ධාරිතාවය නිපදවීම දැඩි අවිනිෂ්චිත තත්ත්වයකට පත්වෙලා.

මොකද ඉතිරි ගල් අඟුරු නැව් ප්‍රමාණය පැමිණුනත් අපිට තිබෙන පහසුකම් අනුව ඉතිරි නැව් 34ක ගල් අඟුරු ගොඩ බෑමට හැකියාවක් නැහැ. අපිට තිබෙන පහසුකම් අනුව මසකට ගල් අඟුරු නැව් හයක් පමණ තමා ගොඩ බෑමේ හැකියාව තිබෙන්නේ. ඒ නිසා එළඹෙන වසර තුළදි අපේ බලාගාරයෙන් ගිගාවෝට් 5400 ලබාදෙන්න තිබෙන හැකියාව අහිමි වෙනවා. මේ නිසා 2023 වසරේ දී රට තුළ දැවැන්ත විදුලි අර්බුදයක් ඇති වීමේ බරපතළ අවදානමක් මේ වන විට නිර්මාණ වී අවසන්ව තිබෙනවා යැයි නාලක විජේකොන් වැඩිදුරටත් කියා සිටියේය.

Aruna