Monday, October 28, 2024
Follow Us
චෝදනා එල්ලවූ ඕමාන තානාපති කාර්යාලයේ නිලධාරියා කටුනායකදී අත්අඩංගුවට

ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම්වරයා ලෙස සේවය කළ ඊ. කුෂාන් නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, ඔහු අද අලුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලෙන් මෙරටට පැමිණි අවස්ථාවේදීයි.

කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව නෙත් නිවුස් ගුවන් තොටුපල වාර්තාකරු පැවසුවා.

ඕමානයේ ගෘහ සේවය සඳහා ගොස් සිටි මෙරට කාන්තාවන්ට ලිංගික අඩත්තේට්ටම් කිරීම, ඒ සඳහා පෙළඹවීම, බලපෑම් කිරීම, ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් අලෙවි කිරීම ඇතුලු චෝදනා කිහිපයක් ඊ. කුෂාන් නමැත්තාට එරෙහිව එල්ලවී තිබෙනවා.

එම චෝදනාවලට ලක්වීම හේතුවෙන් ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තුන්වන ලේකම් ලෙස කටයුතු කරමින් සිටි ඊ. කුෂාන් නමැත්තාගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට ද මෙරට බලධාරීන් පියවර ගනු ලැබුවා.

සැකකරු දිවයිනට පැමිණි වහාම අත්අඩංගුවට ගන්නා බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර පාර්ලිමේන්තුවේදී ද ප්‍රකාශ කළා.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කටුනායක ගුවන් තොටුපලේදී අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ප්‍රකාශ ලබාගනිමින් සිටින බවයි නෙත් නිවුස් වාර්තාකරු වැඩිදුරටත් සඳහන් කළේ.

Neth