Monday, October 28, 2024
Follow Us
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අලුත් සෙල්ලමක්

සේවකයෝ කැන්ටිමේ වැඩ කරන ගමන් O.T.ත් අරන්


ඛනිජ තෙල් නීතිගත සංස්ථා ප්‍රධාන කාර්යාලයේ ආපන ශාලාවේ ටෙන්ඩරය යළිත් තමන් සතු කරගැනීමට වෘත්තීය සමිති ප්‍රබලයන් උත්සාහ කරන බවට එහි සේවකයෝ චෝදනා කරති.

රජයේ මුදල් අවභාවිත කරමින් වෘත්තීය සමිතියක මෙහෙයවීමෙන් පවත්වා ගෙන යන බවද ඔවුහු පවසති.

ලබන (2023) වසරට අදාළව කැඳවූ ටෙන්ඩර් පත්‍රිකා මෙම වෘත්තීය සමිති කාර්යාලය තුළදීම විවෘත කර යළිත් එම ටෙන්ඩරය තම වෘත්තීය සමිතියටම ගැනීමට සූදානම් වන බව සේවකයෝ පෙන්වා දෙති. මෙම ආපන ශාලාවේ සේවය කරන්නේ සංස්ථා සේවකයන් සිව් දෙනකු වන අතර, ඔවුන්ට මාසයකට පැය දෙසීය බැගින් අතිකාල දීමනා ගෙවන බවද හෙළිවී ඇත. උදේ දිවා ආහාර පමණක් සපයන ආපන ශාලාවේ ඇතැමුන් රාත්‍රී 12 වනතුරු සේවය කරන බව හෙළිවී තිබේ.

‘‘මේ කැන්ටිමේ උදේටයි, දවල්ටයි විතරයි කෑම දෙන්නේ. හැබැයි රෑටත් වැඩ කළා කියලා මෙයාලා ඕ.ටී. හදාගන්නවා. දවල් කෑම වෙලාවේ ගියත් කෑම ඉවරයි කියනවා. කෑම හදන්න කරන්ට් බිල ගෙවන්නේ සංස්ථාවේ සල්ලිවලින්. වතුර බිල ගෙවන්නෙත් සංස්ථාවෙන්. එහෙම තිබියදී රුපියල් දෙසීයේ කෑම එකට දෙන්නේ අලයි, පරිප්පුයි විතරයි. කැන්ටිමට බඩු ගේන්න පිට පළාත්වලට යන්න වාහන දෙන්නෙත් සංස්ථාවෙන්. ඒ යන අයටත් ඕ.ටී. ගෙවනවා.
මේක කිහිප දෙනකු රුපියල් කෝටි ගණන් හම්බ කරන ජාවාරමක්. මේ කැන්ටිම පිටස්තර ආයතනයකට දුන්නොත් අපිට හොඳට කෑමක් කන්නත් පුළුවන්. සංස්ථාවේ සල්ලිත් ඉතිරියි’’ යැයි සංස්ථා සේවකයෝ ‘අරුණ’ ට පැවැසූහ.
විමුක්ති නානායක්කාර

Aruna