Monday, October 28, 2024
Follow Us
කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක වකුගඩු ජාවාරමක්

පොලීසිය ජාවාරමට සම්බන්ධ මෝදර බායි සොයයි


රාජගිරියේ පෞද්ගලික රෝහලකදී සිදුකර තිබෙන වකුගඩු ජාවාරම සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෞද්ගලික රෝහල් නියාමන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ධම්මික අලහප්පෙරුම පැවසීය.

රාජගිරියේ පෞද්ගලික රෝහලකදී සිදුකර තිබෙන වකුගඩු ජාවාරමේ ප්‍රධානම තැරැව්කරු මෝදර කජීමාවත්තේ පදිංචි බායි නමැති පුද්ගලයකු බව අනාවරණය වේ.

මෙම පුද්ගලයා ආර්ථික අර්බුද මැද ජීවත් වන පවුල් සම්බන්ධ කරගනිමින් වකුගඩු ලබාගැනීමට යොදවා ඇත්තේ වෙනත් තැරව්කරුවකු මගිනි.

එම තැරැව්කරු විසින් මෙම රෝහලට කජීමාවත්ත, තොටළඟ මෝදර වැනි ප්‍රදේශවලින් හය දෙනකු බායි නමැති පුද්ගලයාට සම්බන්ධ කර දී ඇත්තේ අයකුට රුපියල් ලක්ෂ දහය බැගින් මුදලක් ලබාගැනීමේ අරමුණින් බව හෙළි වේ.

නමුත් බායි නමැති පුද්ගලයා විසින් තැරැව්කරුට ද කිසිදු මුදලක් ගෙවා නැතැයිද අනාවරණය වී ඇති අතර කොළඹ විශේෂ ඒකකයක ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුද මෙම ජාවාරම්කරුවන් හා සමීප සම්බන්ධතා පවත්වා ඇතැයි හෙළි වී ඇත.

මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශනයක් මෙතෙක් ආරම්භ කර නැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව පැවසීය.

කෙසේ වෙතත් මේ වකුගඩු ජාවාරම්කරුවන්ට මුදල් ආශාව මත වකුගඩු ලබාදුන් පුද්ගලයන් හය දෙනාද ඊට සම්බන්ධ පිරිස් සමගින් අත්අඩංගුවට ගැනීමට සිදුවන බව පොලිසිය පවසයි.

මීට පෙර මෙම ජාවාරම්වල නිරතවූවන් ඉන්දියාවේ සිට රැගෙන එන දුගී පුද්ගලයන්ගේ වකුගඩු ලබාගෙන සුළු මුදලක් ගෙවන බවද අනාවරණය විය. ලංකාව තුළ සිටින දුගී අය සම්බන්ධ කරගෙන වකුගඩු ගන්නා ජාවාරමක් ආරම්භ වී ඇත්තේ ඉන් පසුවය.

Aruna