Monday, October 28, 2024
Follow Us
පුවත්ධීවර දිනය අදයි; පියල්ගේ වැඩ අද බේරුවලදී දිගහැරෙයි!

ලෝක ධීවර දිනය අදට (21) යෙදී ඇති අතර සැමරුම් උත්සවය අද (21) පෙරවරු 10.00ට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් බේරුවල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත් වේ.

ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා, රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද සිල්වා මහත්වරුන් ද මේ සඳහා එක්වන අතර ධීවර රාජ්‍ය ඇමැති පියල් නිශාන්ත ද සිල්වා මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කෙරෙන ‘දළ රළ සවිය’ වැඩසටහන යටතේ නව ධීවර රක්ෂණ ක්‍රමය හඳුන්වා දීම, නව විශ්‍රාම වැටුප් ක්‍රමයක් හඳුන්වා දීම, ‘දියවර කැකුළු’ ළමා ඉතුරුම් ගිණුම හඳුන්වා දීම, සමරු මුද්දරයක් නිකුත් කිරීම, ධීවර පවුල්වල අධ්‍යාපනය ලබන දරුවන් අතරින් විශිෂ්ට ප්‍රතිඵල ලබාගත් දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීම, විසිතුරු මත්ස්‍ය කර්මාන්තයේ යෙදෙන නව ව්‍යවසායකයින්ට මූල්‍ය ආධාර ලබා දීම සහ ධීවර ප්‍රඥප්තිය පිළිබඳව කතිකාවක් ද මෙම සැමරුම් උත්සවයේදී සිදු කිරීමට නියමිතය.

“ධීවර රැකුම” නමින් ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සමඟ එක්ව නව රක්ෂණාවරණයක් ධීවර කාර්මිකයන්ට හඳුන්වා දෙන අතර, ඒ යටතේ, හදිසි අනතුරක් හේතුවෙන් ධීවර රැකියාවේ නිරතව සිටියදී සිදුවන මරණයකදී හෝ අකර්මණ්‍යතාවයකදී රුපියල් මිලියන 1.2 – මිලියන 2 දක්වා පුද්ගල හදිසි අනතුරු රක්ෂණාවරණයක් හිමි වෙයි.

ධීවර රැකියාවේ නිරත වී සිටියදී සිදුවෙන හදිසි අනතුරක් හේතුවෙන් ධීවරයකු අතුරුදන් වුව හොත් ඒ අය වෙනුවෙන් මසකට රුපියල් 7500 බැගින් මාස 12ක් දක්වා පවුලේ අයට මේ යටතේ ප්‍රතිලාභ හිමි වේ.

වාර්ෂිකව රුපියල් 1865-2000 දක්වා වාරික ගෙවීමෙන් මෙම ප්‍රතිලාභ ධීවර කාර්මිකයන්ට ලබා ගත හැකිය.

ජීවිතයේ සැඳෑසමය සුවදායීව ගත කිරීම සඳහා කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය හා එක්ව නව විශ්‍රාම වැටුපක් ආරම්භ කරන අතර, එම විශ්‍රාම වැටුපට අවුරුදු 18 සිට අවුරුදු 59 දක්වා වන ධීවරයන්ට දායක විය හැකිය.

මෙම විශ්‍රාම වැටුප වසර 60න් පසු ධීවර කාර්මිකයන්ට ලබා ගත හැකි වේ.

ධීවර සාමාජිකයාගේ බිරිඳ හෝ ස්වාමි පුරුෂයාට ලෙස මෙම විශ්‍රාම වැටුප හිමිවන අතර, යම් හෙයකින් එම පුද්ගලයා මියගිය පසුව ඔවුන්ගේ දරුවන්ට වයස අවුරුදු 18 සම්පූර්ණ වන තෙක් සහ ආබාධිත දරුවන් ඇත්නම් ඔවුන් විවාහයකට පත් වන තුරුද මෙම විශ්‍රාම වැටුප හිමි වේ.

ධීවර අමාත්‍යාංශය ලංකා බැංකුව සමඟ එක්ව ආරම්භ කරන ‘දියවර කැකුළු‘ ළමා ඉතුරුම් ගිණුම හඳුන්වා දීම ද අද සිදු කරන අතර මේ යටතේ සෑම මාසයකදීම ධීවර දරුවන්ට අධ්‍යාපනික කටයුතු සඳහා මුදල් ලබා දීම, ධීවර කාර්මික පියා හදිසියේ මියගිය විටකදී එම ළමා ඉතුරුම් ගිණුමේ ඇති මුදල දස ගුණයකින් වැඩිකර ප්‍රතිලාභ ලබා දීම ආදී ප්‍රතිලාභ රැසක් ධීවර දරුවන්ට හිමි වේ.

Mirror