Monday, October 28, 2024
Follow Us
දුම්රිය සේවක අර්බුදයක් : රඹුක්කනින් එහාට යන්න බැහැ?

දුම්රිය දෙපාර්තමේන්තුවේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ වසර ගණනාවක් පුරා පවතින පුරප්පාඩු හේතුවෙන් ඉදිරියේදී දුම්රිය සේවය කාර්යක්ෂමව පවත්වා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව බලධාරීන් පවසයි.

දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය යථාපරිදි පවත්වාගෙන යාමට සමස්ත කාර්යය මණ්ඩලය 21,000 කට ආසන්න සංඛ්‍යාවක් සිටිය යුතුව ඇත.

කෙසේවෙතත් දැනට සේවය කරනු ලබන්නේ 13,000ක සේවක සංඛ්‍යාවක් බව සඳහන් වේ.

සේවය සඳහා අවශ්‍ය කණිෂ්ඨ සේවකයින් බඳවා ගැනීම සඳහා මීට වසර කිහිපයකට පෙර අයදුම්පත් කැඳවා තිබුණ ද එම බඳවා ගැනීම් මේවන තෙක් සිදුකර නැත.

මෙවන් පසුබිමක මේ වසරේ දෙසැම්බර් 31 වනදායින් පසුව සේවකයින් විශාල පිරිසක් විශ්‍රාම ගැන්වීමට නියමිතව ඇත.

එමෙන්ම දුම්රිය සංඥාකරුවන්ගේ හිඟය හේතුවෙන් ඉදිරියේ දී දුම්රිය ධාවනයේ අනාරක්ෂිත බවක් ඇතිවීමේ අවදානමක් පවතින බව දුම්රිය ස්ථානධිපති සංගමයේ ප්‍රධන ලේකම් කසුන් චාමර මහතා පවසයි.

රඹුක්කන දුම්රිය ස්ථානයේ සේවය කරන සේවකයින් 5 දෙනාගෙන් තිදෙනෙකු දෙසැම්බර් මස 31 වනදායින් පසු විශ්‍රාමයාම හේතුවෙන් ඉදිරියේ දි රඹුක්කනින් ඉහළ, දුම්රිය ධාවනය කළ නොහැකි තත්ත්වයක් මතුවන බව කසුන් චාමර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

(අද දෙරණ)