Monday, October 28, 2024
Follow Us
මානසික රෝගීන්ට බෙහෙත් හිඟයක්

මානසික රෝගීන්ගේ රෝග ලක්ෂණ වැඩි වෙයි


දිවයින පුරා රෝහල්වල මානසික රෝගාබාධවලින් පෙළෙන රෝගීන් සඳහා ලබා දෙන ඖෂධවල දැඩි හිඟයක් පවතින බව අනාවරණය වෙයි.

මෙම තත්ත්වය මත මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීම අපහසු වී ඇති බව වෛද්‍යවරු පවසති.

මානසික රෝගීන් සඳහා වෙනත් ඖෂධ වර්ග ලබා දීම සිදුකළද එය එතරම් සාර්ථක නොවන බව වෛද්‍යවරු සඳහන් කරති.

මේවනවිට අංගොඩ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේද දැඩි ඖෂධ හිඟයක් පවතින නිසා එම විද්‍යායතනයට පැමිණෙන මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීම අපහසු මට්ටමක පවතියි.

එසේම පවතින ආර්ථික අර්බුදය හමුවේ ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ සායන සඳහා රෝගීන් ප්‍රතිකාර සඳහා පැමිණීමද මේ දිනවල අවම මට්ටමක ඇති බව එහි ප්‍රකාශකයකු සඳහන් කළේය.

මේ හේතුවෙන් මානසික රෝගීන්ගේ රෝග ලක්ෂණ වැඩිවී ඇති බවත් ඔවුන්ට ප්‍රතිකාර කිරීමටවත් ඖෂධ නොමැතිවීම බරපතළ ගැටලුවක් වී ඇති බවත් වෛද්‍යවරු පෙන්වා දෙති.

මේ දිනවල මානසික රෝගීන්ට ලබා දෙන්නේ විදෙස් රටවල සිටින අධාරකරුවන් විසින් එවන ලද ඖෂධ වන අතර එම ඖෂධ ප්‍රමාණවත් නොවන නිසා ඉදිරියේදී මානසික රෝගීන්ට ප්‍රතිකාර කිරීමේදී බරපතළ ගැටලුවකට මුහුණ දීමට සිදුව ඇත.

වසරකට පුද්ගලයන් හැටදහසක් පමණ මානසික රෝගාබාධ සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට රෝහල් වෙත පැමිණෙන බව දත්ත වාර්තා සඳහන් කරයි.

Aruna