Monday, October 28, 2024
Follow Us
පානදුරේ යකා නැටූ පොලිස් ලොක්කා ගැන පොලිස් විශේෂ විමර්ශන ඒකකයෙන් පරීක්ෂණයක්

විරෝධතා පාගමනකින් පැමිණි කාන්තාවන් දෙදෙනෙකු අත් අඩංගුවට ගැනීමට යාමේදී නින්දිත ලෙස හැසිරුණු පානදුර දකුණ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

පොලිස්පතිවරයාගේ නියෝගයක් අනුව මෙම පරීක්ෂණය ආරම්භ කර ඇති බව සඳහන්.

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සිරිධම්ම හිමි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබාගෙන සිටීමට විරෝධය පළ කරමින් කාන්තාවන් දෙදෙනෙකු කළුතර නගරයේ සිට පාගමනකින් කොළඹ දක්වා පැමිණෙමින් සිටින අතර පානදුර ප්‍රදේශයේදී පොලිසිය මැදිහත්ව ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට සූදානම් වී තිබිණි.

එහිදී ඔවුන්ව අත් අඩංගුවට ගැනීමට කාන්තා පොලිස් නිලධාරිනියන් ඉදිරිපත් නොවන බවට චෝදනා කරමින් මෙම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පොලිස් කාන්තාවන් දෙදෙනෙකුගේ බෙල්ලෙන් අල්ලා, බෙල්ල මිරිකමින් ඉදිරියට තල්ලු කරන ආකාරය මාධ්‍ය ඔස්සේ රටටම දැකගැනීමට ලැබිණි.

ඔහුගේ මෙම ක්‍රියාව මෙන්ම සාමකාමී ලෙස පාගමනින් පැමිණි කාන්තාවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීම ද බොහෝ පාර්ශ්වවල දැඩි විවේචනයට ලක්විය.

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ සභාපති සාලිය පීරිස් මහතා ඇතුළු බොහෝ අය ප්‍රකාශ කර තිබුණේ එම ම්ලේච්ඡ හැසිරීම පිළිකුලින් යුතුව හෙළාදකින බවයි.

LNW