Monday, October 28, 2024
Follow Us
ලංකාවට පැමිණීම ප්‍රතික්ෂේප කරන ලාංකිකයෝ

අනතුරට පත් ලාංකිකයෝ එක්සත් ජාතීන්ගෙන් උපකාර ඉල්ලයි


තමන්ට යළි ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්තක් නොමැති බව වියට්නාමය සහ සිංගප්පූරුව ආසන්න මුහුදේදී අනතුරට පත්වී මේ වනවිට වියට්නාමයේ සරණාගත කඳවුරක සිටින ශ්‍රී ලාංකිකයින් පවසයි.

ඔවුන් BBC මාධ්‍යයට පවසන්නේ, තම ගැටලුව විසඳීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උපකාර බලාපොරොත්තු වන බවය.

ශ්‍රී ලාංකිකයින් 303 දෙනෙකු රැගත් මියන්මාර ධජය සහිත LADY R3 ධීවර යාත්‍රාව පසුගිය සඳුදා වියට්නාමය සහ සිංගප්පූරුව ආසන්න මුහුදේදී අනතුරට ලක් විය.

වියට්නාම මාධ්‍ය වාර්තා කළේ, කාර්මික දෝෂයකට ලක්වූ යාත්‍රාව වියට්නාම භූමියෙන් නාවික සැතපුම් 258ක් දුරින් මුහුදේ පාවෙමින් තිබූ බවය.

පසුව එම යාත්‍රාවේ සිටි පුද්ගලයින් බේරාගනු ලැබුවේ, අනතුරට පත් නෞකාව අසලින් යාත්‍රා කරමින් තිබූ ජපානයට අයත් හිලියෝස් ලීඩර් නම් භාණ්ඩ ප්‍රවාහන නෞකාවෙනි.

පසුව ඔවුන් වියට්නාමයේ වන්ග් ටාවූ වරාය වෙත රැගෙනවිත් වියට්නාම ආරක්ෂක අංශවලට භාර දුන් අතර මේ වනවිට සිටින්නේ වියට්නාමයේ සරණාගත කඳවුරකය.

මුදාගත් පිරිස අතරට පිරිමි පුද්ගලයන් 264ක්, කාන්තාවන් 19ක් සහ ළමුන් 20ක් ඇතුළත් වෙයි.

Aruna