Monday, October 28, 2024
Follow Us
තිලිණි ඉන්දීය ජනප්‍රිය නළුවෙකුවත් අන්දන්න හදලා

මුහුරත් උළෙලකට රු. ලක්ෂ 350 කට අධික මුදලක් වැය කරලා


ඉන්දීය ජනප්‍රිය නළු අමිතාබ් බච්චන් මෙරටට ගෙන්වා දැවැන්ත ප්‍රසංගයක් පැවැත්වීමට තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලි සැලසුම් කර තිබූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.

ප්‍රකෝටිපති ව්‍යාපාරිකයින්, දේශපාලනඥයින්, නළු නිළියන්, භික්ෂූන් වහන්සේලා රවටා ලබාගත් රුපියල් කෝටි ගණනක් වැය කරමින් එම ප්‍රසංගය කොළඹ දී පැවැත්වීමට සැලසුම් කරමින් සිටින අතරතුරදී තිලිණි ප්‍රියමාලි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් බව එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු සඳහන් කළේය.

ජනප්‍රිය නළු අමිතාබ් බච්චන් ඇතුළු ජනප්‍රිය නළු නිළියන් පිරිවරා ගනිමින් පැවැත්වීමට නියමිතව තිබූ එම ප්‍රසංගය නැරඹීම සඳහා දේශපාලනඥයින් ඇතුළු ප්‍රසිද්ධ පුද්ගලයින් රැසකට ආරාධනා කිරීමට ද සැලසුම් කර තිබූ බව අනාවරණය වී තිබේ.

තිලිණි ප්‍රියමාලිට අයත් තිකෝ චිත්‍රපටි සමාගම විසින් “මායාජාල ” නමැති චිත්‍රපටියේ මුහුරත් උළෙල ඉකුත් මාර්තු 19 වැනි දා කොළඹ ෂැංගිලා හෝටලයේ දී පවත්වා තිබූ අතර, ඒ සඳහා රුපියල් ලක්ෂ 350 කට අධික මුදලක් වැය කර තිබූ බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කරගෙන තිබේ.

මෙරට සිනමා ඉතිහාසයේ පැවැත්වූ දැවන්තම මුහුරත් උළෙල ලෙසට සැලකෙන, මායාජාල චිත්‍රපටියේ මුහුරත් උළෙල සඳහා ඉන්දීය ජනප්‍රිය නිළි මෝනි රෝයි (ශිවන්‍යා) ඇතුළු නළු නිළි පිරිසක් සහ මැති ඇමැති පිරිසක් ද සහභාගි වී තිබේ.

එම මුහුරත් උළලේ දී ලබාගත් ප්‍රසිද්ධිය පාදක කරගනිමින් තිලිණි ප්‍රියමාලි සිය වංචාවන් වේගවත් කර ඇතැයි ද දැනට කෙරෙන විමර්ෂණයේ දී අනාවරණය වී තිබේ.

ජනප්‍රිය නළු අමිතාබ් බච්චන්ගේ ප්‍රසංගය මගින් ලබාගන්නා ප්‍රසිද්ධිය පාදක කරගෙන තිලිණි ප්‍රියමාලි තව දුරටත් මහා පරිමාණ මූල්‍ය වංචාවන් කිරීමට සැලසුම් කර තිබුණේද යන්න පිළිබඳව ද විමර්ශනයේ දී අවධානය යොමු කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කළේය.

Aruna