Monday, October 28, 2024
Follow Us
පළාත් 7කට රතු එළියක්

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් නවතම වාර්තාවක් එළියට


පළාත් 07 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස රැසක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ, නවතම වාර්තාවට අනුව බස්නාහිර පළාතේ, කොළඹ දිස්ත්‍රික්කයේ පිළියන්දල , හෝමාගම, මහරගම , පිටකෝට්ටේ , කඩුවෙල සහ ගොතටුව ඩෙංගු අධිඅවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ලෙස හඳුනා ගෙන ඇත.

බස්නාහිර පළාතේම ගම්පහ දිස්ත්‍රික්කයට ඇතුළත් ඩෙංගු අධිඅවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස සංඛ්‍යාව 13 කි.

අත්තනගල්ල , බියගම , දිවුලපිටිය , ජා – ඇල හා කැලණිය ඇතුළු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ඒ අතර වේ.

ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ වාර්තාවට අනුව කළුතර දිස්ත්‍රික්කයේ බේරුවල සහ කළුතර ඩෙංගු අධිඅවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ලෙස නම් කර තිබේ.

මධ්‍යම පළාතේ, මහනුවර දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 03 ක් ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර තිබෙන අතර උතුරු සහ නැගෙනහිර පළාත්වල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 03 ක ද ඩෙංගු අධිඅවදානම් තත්ත්වයක් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ වාර්තාවේ සඳහන් ය.

වයඹ පළාතේ, පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත , කල්පිටිය , වෙන්නප්පුව සහ මහවැව යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ද ඩෙංගු අධිඅවධානම් කලාප ලෙස දක්වා තිබේ.

ඌව පළාතේ, බදුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය ද ඩෙංගු අධිඅවදානම් කලාප ලෙස නම් කර ඇති අතර සබරගමුව පළාතේ,කෑගල්ල දිස්ත්‍රික්කයේ වරකාපොළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසය ද ඩෙංගු අධිඅවදානම් කලාපයක් ලෙස නම් කර ඇත.

වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 63,549 ක් වන අතර වැඩිම රෝගින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ බස්නාහිර පළාතෙනි.

Aruna