Monday, October 28, 2024
Follow Us
කොළඹින් පිට ඉන්ධන නැහැ

දින තුනක බැංකු නිවාඩුව නිසා වුන දේ


කොළඹ හැරුණු විට මෙරට අනෙකුත් සියලුම පළාත්වලට ඉන්ධන බෙදාහරිම මේ වනවිට ඇණහිට ඇති බව ඉන්ධන පිරවුම්හල් හිමියෝ කියා සිටිති.

දින තුනක පමණ කාලයක් තිස්සේ මෙම පළාත්වලට ඉන්ධන ලැබී නොමැති අතර මෙම පළාත්වල පිරවුම්හල් අසල ඉතා දිගු පෝලිම් දක්නට ලැබේ. දින තුනක බැංකු නිවාඩු යෙදීම හේතුවෙන් ඉන්ධන ඇනවුම් කිරීම සදහා මුදල් තැන්පත් කිරීමට එම ප්‍රදේශවල පිරවුම්හල් හිමියන්ට අවස්ථාව ලැබී නැත.

ඔවුන් පෙන්වා දෙන්නේ ලංකා ඛනිජ තෙල් සංස්ථාව චෙක්පත් ක්‍රමයට ඉන්ධන ලබාගැනීම අත්හිටුවා ඇති බැවින් මෙම තත්වය උදා වී ඇති බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය පෙන්වා දුන්නේ සති අන්තයේ දිනවලට හෝ දින දෙක තුනක නිවාඩුවක් පැමිණෙන සතියකටවත් චෙක්පත් මගින් ඉන්ධන ඇනවුම් කිරීමට පිරවුම්හල් හිමියන්ට අවස්ථාව ලබාදීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව කටයුතු නොකරන්නේ නම් තව දුරටත් අපහසුතාවයට පත්වෙන්නේ පාරිභෝගිකයන් බවය.

මාසයක පමණ කාලයක් සිට ඉන්ධන පිරවුම්හල් හිමියන් ඉන්ධන මිලදී ගනු ලබන්නේ අත්පිට මුදලට වන අතර චෙක් පත් ක්‍රමයට මුදල් ලබාදීමෙන් ඉන්ධන මිලදී ගැනීම ඛනිජ තෙල් සංස්ථාව විසින් අත්හිටවනු ලැබීය.

කෙසේ නමුත් මේ වනවිට දුර පළාත් කිසිවකට ඉන්ධන බෙදාහැරීම ක්‍රමවත්ව සිදුනොවී ඇති බැවින් එම ප්‍රදේශවල ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇත.

කොළඹ නගරයේ ඉන්ධන පිරවුම්හල් හිමියන් පමණක් ඉන්ධන ලබාගැනීමේදී විශාල අපහසුතාවයකට පත්වී නොමැති අතර ඔවුන්ට කොළොන්නාව ඉන්ධන බෙදා හැරීමේ මධ්‍යස්ථානය හරහා මුදල් ගෙවා ඉන්ධන ලබාගැනීමට හැකියාව ලැබී ඇත.

එබැවින් මේ වනවිට ඉන්ධන හිඟයක් නොමැතිව ඇත්තේ කොළඹ නගරයේ පිරවුම්හල්වල පමණි.

ඉන්ධන පිරවුම්හල් හිමියන් පවසන්නේ අද (08 වැනිදා) දිනයේද මෙම තත්ත්වය සාමාන්‍ය අතට පත්වීමට හැකියාවක් නොමැති බවය. ඒ අනුව රට පුරා නැවතත් ඉන්ධන බෙදාහැරීම සාමාන්‍ය අතට පත්වීමට තවත් දින දෙක තුනක් ගතවනු ඇත. මේ සම්බන්ධයෙන් අප ලංකා ඛනිජ තෙල් සංස්ථාවෙන් විමසීමක් කළ අතර එහිදී එහි ඉහළ නිලධාරියෙක් පැවසුවේ සංස්ථාවේ මුල්‍ය ගැටළු රාශියක් පවතින හේතුවෙන් චෙක්පත් ක්‍රමයට මුදල් ලබාගැනීමට නොහැකි තත්වයක් උදාවී ඇති බවය.

ඉන්ධන නැව් සදහා ගෙවීමට විශාල මුදලක් වැයවන බැවින් අත්පිට මුදල් ලබාගැනීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් ඔහු කීය.

Aruna