Monday, October 28, 2024
Follow Us
ප්‍රියමාලිගේ සිදුවීමට සම්බන්ධව ප්‍රවීණ රංගන ශිල්පිණියක් CIDයට

රංගන ශිල්පිණියගෙන් පැය 5ක් ප්‍රශ්න කරයි


තිලිණි ප්‍රියමාලිගේ මහා පරිමාණ මූල්‍ය වංචාව සම්බන්ධයෙන් කරන විශේෂ විමර්ශනයට අදාළව ප්‍රවීණ චිත්‍රපට නිළි සංගීතා වීරරත්නගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඊයේ (7 වැනිදා) දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.

මෙම සිද්ධියට අදාළව චිත්‍රපට නිළි සංගීතා වීරරත්නගෙන් පැය 5 කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කළේය.

ප්‍රකෝටිපතියන්, දේශපාලනඥයන්, නළු නිළියන්, භික්ෂූන් වහන්සේලා රවටා රුපියල් බිලියන ගණනක වංචාවක් සිදුකළ බව කියන දැනට රිමාන්ඩ් භාරයේ සිටින තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය තිලිණි ප්‍රියමාලි සමග සමීප සබඳතා පවත්වා ඇති බවට විමර්ශනවලදී අනාවරණය වීම නිසා චිත්‍රපට නිළි සංගීතා වීරරත්නගෙන් එලෙස ප්‍රකාශයක් සටහන් කරගත් බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.

අවස්ථා කිහිපයකදී ප්‍රවීණ චිත්‍රපට නිළි සංගීතා වීරරත්නට සහ තවත් ජනප්‍රිය තරුණ රංගන ශිල්පිනියකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණද එම නිළියන් දෙදෙනා පෙනී නොසිටීම මත ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර අවශ්‍ය පියවර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරමින් සිටියේය.

එසේ තිබියදී රජයේ නිවාඩු දිනයක් වන පොහොය දින පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණි සංගීතා වීරරත්න අදාළ ප්‍රකාශය ලබාදී පස්වරු 2.30 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගොස් තිබිණි.

අධිකරණයෙන් ලබාගන්නා ලද අවසරයක් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බන්ධනාගාරය වෙත ඊයේ ගොස් තිලිණි ප්‍රියමාලිගෙන් නැවත ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.

පැය 4 කට ආසන්න කාලයක් තිලිණි ප්‍රියමාලිගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රශ්න කර එලෙස ප්‍රකාශයක් සටහන් කරගෙන තිබිණි.

Aruna