Monday, October 28, 2024
Follow Us
ධනුෂ්ක වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් : නඩුව ජනවාරි 12 දක්වා කල් තබයි

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි නුවරදී කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ඕස්ට්‍රේලියාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට නියමිත බව ඔහුගේ නීතිඥ ආනන්ද අමරනාත් අද ප්‍රකාශ කර සිටියා.

අද උදෑසන සිඩ්නි අධිකරණය හමුවේ ඔහුගේ නඩුව කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත් රොබට් විලියම්ස් ගුණතිලකට පෙර අපරාධ ඉතිහාසයක් නොමැති බව පිළිගනනු ලැබුවද ඔහුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කරනු ලැබුවා.

එබැවින් ධනුෂ්ක ගුණතිලක තවදුරටත් අත්අඩංගුවේ පසුවනවා.

මහේස්ත්‍රාත් රොබට් විලියම්ස් මෙම නඩුව ජනවාරි 12 වැනිදා දක්වා කල් තබනු ලැබුවා.

ධනුෂ්ක ගුණතිලකගේ නීතීඥ ආනන්ද් අමරනාත් අධිකරණය විසින් ලබාදුන තීරණය "කලකිරීම් සහගත" ලෙස හැඳින්වූ අතර ඔහුගේ සේවාදායකයා වෙනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කරන බව තහවුරු කරනු ලැබුවා.

“ධනුෂ්ක ගුණතිලක මේ වන විට රැදවුම් කිරීමේ මධ්‍යස්ථානයක සිටින අතර ඔහුට ඇප ලබාදුනහොත් නඩුව අවසන් වන තුරු ඔහුට ඕස්ට්‍රේලියාවේ සිටීමට සිදුවනු ඇති බවයි නීතිඥ ආනන්ද අමරනාත් පවසා සිටියේ.

එල්ල වී ඇති චෝදනා බරපතල බැවින්, අධිකරණ ක්‍රියාවලිය අවසන් වීමට වසරකට වැඩි කාලයක් ගතවනු ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

ධනුෂ්ක ගුණතිලකගේ නීතිමය වියදම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් දරනු ඇති බවයි නීතිඥ ආනන්ද අමරනාත් පවසා සිටියේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සෑම තරාතිරමකම නිලධාරීන් තමන් සමඟ සන්නිවේදනය කරමින් සිටින බව පැවසූ නීතිඥ ආනන්ද අමරනාත්, ධනුෂ්ක ගුණතිලක වෙනුවෙන් ක්‍රිකට් ආයතනය නීතිඥ ගාස්තු ගෙවනු ලබන්නේ පසුව ඔහුගෙන් එය අයකිරීමේ පදනම මත බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, ධනුෂ්ක ගුණතිලකට වහාම ක්‍රියාත්මක වන පරිදි සියලු ආකාරයේ ක්‍රිකට් තරග තහනම් කිරීමට තීරණය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව අද නිවේදනය කර සිටියා.

 

Neth