Monday, October 28, 2024
Follow Us
ධනුෂ්ක පොඩ්ඩක් එහාට කරන්න

ලෝක කුසලානය සහ ලංකාව සම්බන්ධ සම්පූර්ණ කතාව ධනුෂ්ක ගුණතිලකය.නමුත් අවසාන පූර්ව වටයෙන් ඉවතට වීසි වූ ශ්‍රී ලංකාව මේ තරගාවලියේ අවසාන පූර්ව වටයේ සිටිය යුතුව තිබුණ කණ්ඩායමකි.ඒ සඳහා ක්‍රීඩකයින්ට ශක්‍යතාවයක් තිබුණ බව ඔවුන් සහභාගි වූ අවසන් තරගයේදී ද ඔප්පු කළහ.


ආසියානු සූරතාවය දිනද්දී ශ්‍රී ලංකාවට හිටියේ කවුද?ඇතැම් ක්‍රීඩක නම් සාමාන්‍ය ප්‍රේක්ෂකයා අතරට ගියෙත් එම තරගාවලියේදී ය.නමුත් වැඩේ අපූරුවට කෙරුණේය.සිල්වර්වුඩ්ගේ සැළසුම් හරියටම ගැට ගැහුණේය.එතැන් සිට මේ දක්ෂයන්ගේ දක්ෂතාවල උප්පැන්නයට නම් දෙන්න පියවරු බොහෝ අයට ඕනෑ විය.ක්‍රිකට් ආයතනයෙන් ලැබෙන වැටුප නොනැවතෙන්නට යම් යම් දේ කරන්න ඇතැමුන්ට අවශ්‍යය විය.
මේ අතරම ජ්‍යෙෂ්ඨ සහ කණ්ඩායමෙන් ඉවත්ව ගිය ක්‍රීඩකයෝ ද මේ අලුත් ප්‍රවනතාවය හමුවේ මැකී යන සිය ආලෝකධාරාවේ දීප්තිය ගැන කම්පා වන්නට විය.ලංකාව ගැන හොඳම නිර්මාණාත්මක කතාව ගොඩ නැඟී ඇත්තේ අපායේ ලාංකිකයන් දැමූ වල සම්බන්ධයෙන්ය.එහි මුරට නැත.මන්ද එකෙක්ටවත් ගොඩ එන්නට නොදී ඇතුළේම උන් ගොඩ එන එකා ඇඳ දමන බව සහතික නිසා ආරක්ෂාවක් අවශ්‍යය නැත.
දැන් හෙට අනිද්දා මේ ආකාරයට පරණ ක්‍රීඩකයන්ගේ වොයිස් කට් එළියට ඒමට පටන් ගන්නවා ඇත.ඒ ශුද්ධ වූ ඉතිහාසයක සිට අනාගතය ආමන්ත්‍රණය සේ නිර්වචනය වන්නට ද ඉඩ ඇත.මෙය හැඩතල කිහිපයකට සිඳු විය හැකිය.වඩාත්ම දරුණු ප්‍රහාරය හරහා උත්සාහ ගන්නවා ඇත්තේ ක්‍රිකට් ආයතනය වෙනස් කිරීමය.එය ඉතිහාසයේ පහළ වූ හොඳම පරිපාලනය ද යන්න වැදගත් නැත.නමුත් මේ විරෝධතාවය ගොඩ නැඟෙන්නේ හොඳම පරිපාලනය ඇති කිරීමේ උවමනාව පෙරදැරිව නොවේය.පෞද්ගලිකව බලය ඩැහැ ගැනීම පිණිස වන උවමනාවෙන්ය.

එතැනට ලෝක කුසලානයකුත් කර ණය වී පඬි දෙන්නටත් නොහැකි පාළක මණ්ඩලයක් ඉතුරු කළ අය අසුන් අපේක්ෂාවෙන් සිටිනු ඇත.පවතින පාලනය ආරක්ෂා කර ගැනීම සඳහා ඇති වුණ නොනිල එකඟතා මත ලංකාවේ ක්‍රීඩා සම්ප්‍රදායට පිටින් ගොස් ඇතැම් හූ ක්‍රිකට් ආයතනයෙන් වැටුප් ලබා ගන්නා රස්සා තමන්ට අවශ්‍යය පරිදි ඩොලර්වලින් සකසා ගෙන වැඩ භාරගත්තේය.රටේ සමස්ත ක්‍රීඩාවටම අදාළ ගෞරවණිය වගකීමක් තුළ සිටිමින් එය භාර ගැනීමට නොහැකි වුවත් ඒ සම්ප්‍රදායන් මුදල්වලට අදාළ නොවිණි.
මුළු තරගාවලිය පුරාම ආසියානු කුසලානයේ දුටුව සිල්වර්වුඩ් ගේ හැසිරීම දකින්නට නොලැබිණ.එයට හේතු වූයේ කුමක්ද?ලංකාවට සේවය කරන්නට ආ නවිඩ් නවාස්ට වෙන්නේ හතුරුසිංහගේ ඉරණමම අත්වීමද?මේ සියල්ල එළියට නො”එන්නට ධනුෂ්ක ඉදිරියෙන් තබා ඇත.ධනුෂ්ක එහි රඳවා ගත්තේ ඇයි?ඇතැම් ක්‍රීඩකයින්ට ආබාධවලින් පසුව කණ්ඩායම සමඟ නොසිට ලංකාවටත් නො’එවා පර්ත්වල රැඳෙන්නට අවස්ථාව දෙන්න කණ්ඩායම් කළමණාකාරීත්වයෙන් අවසර ලැබුණේ ඇයි?ධනුෂ්ක සාරිවල හෝ ඇඳ ඇතිරිලිවල එල්ලී කාමරයෙන් පිටතට ගියාද?එසේ නොගියානම් ඔහුට එසේ යාමට අවසර දුන්න හෝ යාමට එරෙහි නොවුණ කණ්ඩායමේ කළමණාකරු සහ විශේෂඥයන් කුමක් කියන්නේද?ඔහු එදින හිටියේ තනි කාමරයකද?නැතිනම් කාමර සඟයා කවුද?මේ සියල්ල ප්‍රශ්න කළ යුතු නොවේද? විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායම්වල නැති මේ මොහොතේ ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් තරගවලට සහභාගිවන ජ්‍යෙෂ්ඨතම ක්‍රීඩකයෙක්දමේ කණ්ඩායම සමඟ එක් වී ඇත.ලලනාවන් සමඟ පිංතූරවලට ද පෙනී සිට ඇත.මෙසේ සමූහයක් සේ ඔවුන් පිටතට ගියේ කෙසේ ද?ක්‍රීඩකයින්ට විවිධ තැන්වල සිඳු වුණ විවිධ හමුවීම් සඳහා අවසර ලැබුණේ කාගෙන්ද?

දැන් ක්‍රිකට්මය ගැටළුව ඇත්තේ ධනුෂ්ක එම කාන්තාව සමඟ ලිංගිකව හැසිරුණාද යන්නෙහි නොවේය.එය විභාගයට ගන්නේ දියුණු නීති පද්ධතියක් සහ විද්‍යාත්මක පසුබිමක් සහිත තැනකය.එය කෙළ දහඩිය පවා පරික්ෂාවට ලක් කෙරෙන මට්ටමට සිඳු කරන්නට පහසුකම් ඇත.අනිත් අතට එය මුදල් කඩා ගැනීමේ උවමනාවෙන් එම කාන්තාව සිදු කරාද යන්නද විමසා බැලීම අධිකරණයට භාර වැඩකි.
විනය සම්බන්ධයෙන් ලංකාවේ ක්‍රිකට් කටයුතු කරන්නට ඉහත තත්ත්වයන් පරික්ෂාවට ලක් කරන්නේ කෙසේද?නැත්නම් නැවත නැවතත් එවන් වැරදි හදන්නට හැකි පරිසරය සහිත ගර්භාෂය තියාගෙන උපන්න එකාට වේවැල් පහරදීම අපේ රාජකාරිය ය.මේවා මේ මොහොතේම කණ්ඩායම තුළ සිඳු වූ ඒවා නොවේය.සමහර ක්‍රීඩකයන් ඕස්ට්‍රේලියාවට වන්දි ද ගෙවා ඇත.සමහර අයගේ විඩියෝ පටිද නරඹා ඇත.සමහර අය රාත්‍රියේ මහපාරේ හමු වී ඇත්තේ වහාන ඇතුළේය.එදත් සමහරුන්ට බල පෑ විනය නීති සමහරුන්ට බලපෑවේ නැත.සමහර ක්‍රීඩකයින් එවැනි රාත්‍රී සංචාර නිසා ඇති වූ ගැටළු නිසා කණ්ඩායමෙන් එළියට දැමූ පසු යළි කවරදාකවත් ඔවුන්ගේ ක්‍රිකට්වලට දවල් උදා වූයේ නැත.ඇත්ත එබඳුය.හංගගෙන වැරදි කළ සහ වැරදි හැංගී කරන්න දත් අය ද,කරන වැරදි හංගන්නට බලය ඇති අය ද ක්‍රිකට්වල අපි දැක ඇත්තෙමු.

නමුත් ධනුෂ්ක යනු වැරදි එළිපිට කරන්නට තමන්ගේ ජනප්‍රියත්වයට අයිතියක් ඇති සේ සිතා හැසිරෙන අයෙකි.ක්‍රිකට් ගැහැව්වත් එකයි නැතත් එකයි මට ඕනි විදිහට මම ඉන්නෙ වැන්නක් ඔහුගේ ආදර්ශ පාඨය බව බොහෝ විට හැඟෙන්නේය.ඇත්තටම ඔහු ක්‍රිකට්වලින් ඉවත් කර ද ක්‍රිකට් ඔහුට දුන් ආදායම් සමහර විට ජීවිත කාලයටම ඇති වන්නට ඉඩ ඇත.නමුත් ඔහු බේකරි රස්සාව කරපු තාත්තා නිවසත් උගසට තබා ඉගැන්නූ දරුවෙක්ය.නමුත් ඔහුගේ මානසිකත්වය ක්‍රිකට් සහ ඒ හරහා පැමිණි මුදල් හරහා විශාල විපර්යාසකට ලක් කර තිබිණ.මෑත කාලයේ කණ්ඩායමට පැමිණි බොහෝ දුෂ්කරතා මැද ක්‍රිකට්වලින් ජීවිතය දිනා ගත් අය ඉණිමඟ පෙරළා දමා යාම සාමාන්‍ය තත්ත්වයක් බවට පත්ව ඇති අතර බොහෝ විට එම ජීවිත හසුරුවන්නේ ඉණිමඟ මුදුණේ හමු වූ කළමණාකරුවරුය.මේ තත්ත්වයද ශ්‍රී ලංකා ක්‍රිකට් අවධානය යොමු කළ යුතු තත්ත්වයකි.කළමණාකරුවෙක් වීමට හැකි අවම සුදුසුකමක් ප්‍රකාශයට පත් කළ යුතු තැනට දැන් ඒ සෙල්ලමද පත් වී ඇත.

ධනුෂ්කට දෙන්නම් බැටේ කියා වචන මුවහත් කරගෙන ඉදිරියට එන සුචරිතවාදි ක්‍රීඩකයන්ගේ කිල්ලෝට ද හුඟ දෙනෙක් දනියි.ඒවා නීතියෙන් ඇර නොබැලීම සහ ඒවා ධනුෂ්කගේ න්‍යායෙන් මම ක්‍රිකටර්,මට ඕනි දෙයක් කරන්න පුළුවන් ආකාරයෙන් පාවිච්චියට නොගත් නිසා ද වැඩිය විමසීමකට ලක් වුණේ නැත.ඒ සියල්ල අතීතයට භාර දී මේ මොහොත ධනුෂ්ක ගේ වරද තව තවත් විසල් කොට අනෙක් ප්‍රශ්න ඉදිරයෙන් නොතැබීම වැදගත්ය.ඔහුව පොඩ්ඩක් පසෙකට කරන්න.ඔහුට එසේ කරන්නට හැකි වූයේ ඇයි?ඒ ඉඩ සැකසුණේ කාගේ ආශිර්වාදය යටතේ ද?එම ගමන වළක්වන්නට කටයුතු නොකළ කණ්ඩායම සමඟ සිටි කළමණාකාරීත්වය ඒ මොහොතේ සිට ඇත්තේ කොහේද? වැනි කාරණා ගණනාවක් මතුව තිබේ.හසු වූ වරදට තඩිබාමින් ඊට පදනම් වූ වැරදි කන්දක් වසා දැමීම අපේ සාමාන්‍ය සිරිතය.

මේ මොහොතේ ඒ සම්ප්‍රදායෙන් මිදෙමු.ධනුෂ්කගේ ප්‍රශ්නය ඕස්ට්‍රේලියානු අධිකරණය සමඟ ඔහුට බේරා ගන්නට දි ඔහුට එතැනට පත් වෙන්නට තැබූ ඉඩ වසා දමමු.ඒ මහා සිඳුර පෙනෙන සේ ධනුෂ්ක පොඩ්ඩක් ඈත් කර නිවැරදි පරික්ෂණයක් කරන්න ශම්මි සිල්වා ප්‍රමුඛ පරිපාලන කණ්ඩායමට හැකිනම් මිනිස්සු ඒ ක්‍රිකට් සමඟ එනු ඇත.
තරගයෙන් තරගයට පසු විපරමක් කරගෙන යා හැකිනම් බොහෝ දක්ෂයන් ශ්‍රී ලංකාවේ ජයග්‍රහණයට ක්‍රීඩා කළා ද නැද්ද යන්න සොයා ගැනීම අපහසු නොවනු ඇත.යමෙක්ගේ දක්ෂතාවය රඳවා ගැනීම සහ එය අධ්‍යාපනය ක්‍රීඩාව හා සබැඳි සමාජයේ දිගින් දිගට පවත්වා ගැනීම අපහසු බව නොසිතන ක්‍රීඩකයින් තමන්ගේ හැකියාවන් ගැන තබා ඇති අධි තක්සේරුව සහ විශ්වාසය ද මෙහිදී වෙනස් කිරමට හැකි වනු ඇත.ඔස්ට්‍රේලියා තරගයේ දී ස්ටොනික්ස් ගේ විශ්මය දනවන ප්‍රහාරයට වඩා ශ්‍රී ලංකාවට ස්ටොනික්ස්ලාගෙන් පහර කෑ ක්‍රීඩකයින් ඊට පෙර රාත්‍රිය ගත කර තිබුණේ කෙසේද යන්න සොයා ගැනීම වැදගත් වනු ඇත.
ඒ නිසා නැවතත් කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් මේ මොහොතේ ධනුෂ්ක පැත්තකින් තබා ඔහුව ඕස්ට්‍රේලියානු නීතියට භාර දී ලංකාවේ ක්‍රිකට් සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් පරික්ෂාවක් කළ යුතු බවය.එහිදී වගකීම ඉටු නොකළ ඕනෑම විශේෂඥයෙක් ලංකාවෙ ක්‍රිකට් තරමට ලොකු නැති බව සිතා වැඩ කරන්නට ද ශ්‍රී ලංකා ක්‍රිකට් ශක්තිමත් විය යුතුය.

LNW