Monday, October 28, 2024
Follow Us
අභිනව අටමස්ථානාධිපති හිමියන් වැඩ භාරගැනීමේ උත්සවයේදී ප්‍රභූන්ට දොර වැසේ

අටමස්ථානාධිපති ධූරයේ නිල වශයෙන් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට කිසිඳු ප්‍රභූවරයෙකුට ආරාධනා නොකරන බව අටමස්ථානාධිපති හිමියන් ලෙස අභිනවයෙන් පත්වූ රුවන්වැලි සෑ චෛත්‍යාරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් පවසනවා.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් උන්වහන්සේ සඳහන් කළේ ඉතා චාම් ලෙස සැලසුම් කර ඇති අටමස්ථානාධිපති ධූරයේ නිල වශයෙන් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා තමන්ගේ තනතුරු පසෙකලා සාමාන්‍ය පුරවැසියෙකු ලෙස ඕනෑම අයෙකුට එක්විය හැකි බවයි.

අනුරාධපුර ඓතිහාසික අටමස්ථානයේ 11 වන අටමස්ථානාධිපති ලෙස අභිනවයෙන් පත්වූ පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ලබන 11 වනදා නිල වශයෙන් කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

ඉකුත් දා රැස්වූ අටමස්ථාන කාරක සභාව විසින් අභිනව අටමස්ථානාධිපති හිමියන් පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් ඒකමතිකව තෝරා ගනු ලැබුවා.

ඒ අනුව ලබන 11 වනදා පෙරවරු 7ට ජය ශ්‍රී මහා බෝධියේ උතුරු වාහල්කඩ අභියසදී අටමස්ථාන කාරක සභාවේ සභාපති වෛද්‍ය ජානක බුලන්කුලම විසින් නායක හිමියන් පිළිගනු ලබනවා. ඉන් අනතුරුව උන්වහන්සේ පෙරහැරින් වැඩමවා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියසදී විශේෂ ආගමික වතාවත් සිදු කිරීමට නියමිතයි.

Neth