Monday, October 28, 2024
Follow Us
පහ වසරේ සිසුන්ට පොලිසියෙන් කරන්ට් අල්ලලා ගහලා

පොලීසියේ අමානුෂික පහරදීම ගැන විමර්ෂනයක්


මිල්ලනිය බුංගමුව කනිටු විදුහලේ පහ ශ්‍රේණියේ සිසුන් තිදෙනෙකුට විදුලිසර වද්දා අමානුෂික අන්දමින් පහරදුන් බව කියන සිද්ධියකට අදාළව මිල්ලනිය පොලිසියේ ජීප් රථය නඩු භාණ්ඩයක් ලෙස ජාතික ළමා ආරක්ෂක අධිකාරිය භාරයට ගනිමින් විමර්ශනයක් ආරම්භ කළ බව එම අධිකාරියේ සභාපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය උදය කුමාර අමරසිංහ පැවසීය.

මෙම සිද්ධීය සම්බන්ධයෙන් උපරිම නීතිමය පියවරගන්නා බවත් ‍හෙතෙම පැවසීය. මෙම පාසලේ විද්‍යා විෂය උගන්වන ගුරුවරියගේ මුදල් පසුම්බිය සොරකම් කළැයි කියන සිද්ධියකට අදාළව සිසුන් තිදෙනෙකුට විදුහල්පතිනිය හා ගුරුවරිය එක්ව අමානුෂික අන්දමින් පහරදුන් බව කියන්නේ පසුගිය 2 වැනිදායි.

අනතුරුව විදුහල්පතිවරිය විසින් මේ ගැන පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු මිල්ලනිය පොලිසියේ නිලධාරීන් පිරිසක් පාසලට පැමිණ මේ සිසුන් තිදෙනාගෙන් ප්‍රශ්න කර ඇත. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට විදුහල්පතිනියගේ ඉල්ලීම මත පොලිස් කණ්ඩායමක් මෙම පාසලට පිටත් කර යැවූ බව මිල්ලනිය පොලිස් ස්ථානාධිපතිවරයා පිළිගත් බවද ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පවසයි.

කූඩැල්ලන් සහිත බිමක තමන්ව දණ ගස්වා බැටන් පොල්ලෙන් පහරදුන් බවත් අනතුරුව විදුලිසර වද්දා ප්‍රශ්න කළ බවත් සිසුන් පවසයි. එමෙන්ම අත් විලංගු දමා තමන්ව පොලිස් ජීප් රථයේ නංවා ගනිමින් හිරේ දමන බවට තර්ජනය කරමින් පාසලෙන් පිටතට රැගෙන ගොස් නැවතත් දණ ගස්වා විදුලිසර ඇල්ලූ බවත් තමන් කිසිඳු ආකාරයේ සොරකමක් සිදු නොකළ බවත් මෙම සිසුන් පවසයි. මේ පිළිබඳ මාධ්‍ය හරහා වූ ප්‍රචාරයත් සමග සහකාර පොලිස් අධිකාරිවරයෙකුගේ ප්‍රධානත්වයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කිරීමට කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා පියවර ගෙන ඇත.

විදුහල්පතිවරියගේ දැනුම් දීම මත මිල්ලනිය පොලිසියේ පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුළු නිලධාරීන් කිහිපදෙනෙකු පාසලට පැමිණ මෙම සිසුන් තිදෙනාගෙන් ප්‍රශ්න කළ බවත් අත්අඩංගුවට ගෙන සිරගත කරන බවට සිසුන්ව බිය කළ නිසා සිසුන් බෝලයක් ගැනීමේ අරමුණින් මුදල් පසුම්බිය සොරකම සිදුකළ බව අනාවරණය වූ බව මිල්ලනිය පොලිසිය පවසයි. ඒ හැර කිසිඳු පහරදීමක් නොකළ බවද පොලිසිය පවසයි.

මුදල් පසුම්බියේ මුදල්වලින් බෝලයක් ගෙන පසුම්බිය විසි කළ බව සිසුන් සඳහන් කළත් එම ස්ථානයෙන් මුදල් පසුම්බියක් හමුවී නැත.

Aruna