Tuesday, November 05, 2024
Follow Us
තවත් තහනම් භාණ්ඩ සොයා ගනී

කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ පොළව යට සඟවා තිබු ජංගම දුරකතන චාර්ජර් 14ක් සොයාගෙන තිබෙනවා. ඒවා බෝතලයක අසුරා කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ C වාට්ටුවේ වළ දමා තිබියදී සොයාගෙන ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග අනාවරණ කළේ.

මේ අතර එම බන්ධනාගාරයේ වාට්ටු කිහිපයක සිදුකළ තවත් වැටලීමකදී ජංගම දුරකතන 12 ක් ද සොයාගෙන තිබෙනවා. කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයේ නිලධාරි කණ්ඩායමක් සිදුකළ වැටලීමකදී එම තහනම් භාණ්ඩ සොයාගෙන ඇති බවයි බන්ධනාගාර ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණ කළේ.

මේ අතර බන්ධනාගාර තුළට තහනම් භාණ්ඩ ඇතුළු වීම වැළැක්වීම සඳහා දෛනිකව සෝදිසි මෙහෙයුම් කි‍්‍රයාත්මක කරන බවයි බන්ධනාගාර බුද්ධි අංශය භාර ජ්‍යෙෂ්ඨ බන්ධනාගාර අධිකාරී තුසිත උඩුවර පැවසුවේ.

ඒ සම්බන්ධයෙන් ඔහු වැඩිදුරටත් කරුණු දක්වමින් සඳහන් කළේ නිලධාරීන්ගේ හිඟතාවයත් සමග මෙම කටයුතු අසීරු වී තිබුණත් ඉදිරියේදී නව බඳවා ගැනීම් සමග වැටලීම් වැඩි කරමින් තහනම් භාණඩ පාලනය උපරීම මට්ටමකට ගෙන ඒමට හැකියාවක් උදා වෙනු ඇති බවයි.

(Neth)