Tuesday, December 24, 2024
Follow Us
පොහොර සහනාධාරය කෝටි 2000ක් ගොවි ගිණුම් වෙත ළඟදීම

මහ කන්නයේ පොහොර සහනාධාරය වශයෙන් රුපියල් කෝටි 2000ක මුදලක් (මිලියන 20,000 ) ගොවි ගිණුම් වෙත බැර කිරීමට සැලසුම් කර ඇතැයි ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී. රෝහණ රාජපක්ෂ මහතා පැවැසීය.

මෙම සහනාධාරය ගොවීන් ලක්ෂ 10කට පමණ හිමිවන අතර හෙක්ටයාර 720,000ක වී වගා කටයුතු ඔවුන් විසින් සිදු කෙරෙනු ඇත. 2024/25 මහ කන්නයේදී නව රජය යටතේ ගොවීන්ට හිමිවන පොහොර සහනාධාරය රුපියල් 25,000ක් දක්වා වැඩි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහා භාණ්ඩාගාරයට උපදෙස් දුන් අතර මෙහි මූලික පියවර ලෙස රුපියල් 15,000ක් නිකුත් කිරීම ආරම්භ කෙරිණි. මෙම පොහොර සහනාධාරය යටතේ මේ වන විට ගොවීන් 36,500කට රුපියල් මිලියන 162.4ක මුදලක් ගොවි ගිණුම් වෙත බැර කිරීම සිදු කර අවසන් බව ද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා ‘දිනමිණ‘ කළ විමසුමකදී අනාවරණය කළේය.

රුපියල් 15,000 බැගින් වන පළමු වටය යටතේ අම්පාර සහ කිලිනොච්චිය දිස්ත්‍රික්කවල ගොවීන් 670 දෙනකුට රුපියල් මිලියන 9.5ක මුදලක් පසුගිය මස 17දා ගෙවීම් ආරම්භ කළ අතර එම ගොවීන් වගා කරන කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටයාර 638කි. දෙවැනි පියවර යටතේ පසුගිය මස 23දා දිස්ත්‍රික්ක 12ක ගොවීන් 4,475කට මෙම පොහොර සහනාධාරය වශයෙන් රුපියල් මිලියන 46.5ක් ලබා දී ඇති අතර වගා කෙරෙන කුඹුරු බිම් ප්‍රමාණය හෙක්ටයාර 3,102කි. තුන්වැනි පියවර යටතේ පසුගිය මස 28දා රුපියල් මිලියන 57.5ක් නිකුත් කර ඇති අතර ගොවීහු 4,219ක් එහි ප්‍රතිලාභීහු වෙති.

හෙක්ටයාර 3,839ක වගා කටයුතු සිදු කෙරේ. සිව්වැනි පියවර යටතේ රුපියල් මිලියන 48.7ක මුදලක් දිස්ත්‍රික්ක 12ක ගොවීන් 4,804ක් වෙත බැර කර ඇති අතර වගා කටයුතු සිදු කරන කුඹුරු ප්‍රමාණය හෙක්ටයාර 3,247කි.

පස්වැනි පියවර මෙම සතිය තුළ ක්‍රියාත්මක වන අතර ඒ යටතේ දිස්ත්‍රික්ක 19ක ගොවීන් 22,419ක් සඳහා රුපියල් මිලියන 279.4ක් ගොවි ගිණුම් වෙත බැර කිරීම ආරම්භ කරනු ඇත. හෙක්ටයාර 18,627ක මෙම වගා කටයුතු සිදු කෙරේ.

තම ප්‍රදේශවල මහ කන්නයේ වී වගාව ආරම්භ කළ බවට ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් දැනුම්වත් කිරීම් සිදු කළ දිස්ත්‍රික්කවල ගොවීන්ට මෙම පොහොර සහනාධාරය මේ වන විට නිකුත් කෙරෙන අතර කොළඹ, කළුතර, ගාල්ල, මන්නාරම සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවල වගාකටයුතු ආරම්භ කළ බවට මෙතෙක් දැනුම් දීමක් සිදුවී නැතැයිද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කළේය.

වැසි ලැබීමේ තත්ත්වයන් මත මෙම කන්න ප්‍රමාදවීම් වාර්තාවන බව ද ගොවිජන සේවා කොමසාරිස් ජනරාල් යූ.බී රෝහණ රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවැසීය.

රජය මගින් වැඩි කළ පොහොර සහනාධාරයේ ඉතිරි මුදල වන රුපියල් 10,000, දෙවැනි වටය වශයෙන් මේ මස අවසන් වීමට ප්‍රථම ගොවි ගිණුම් වෙත ලබාදීම ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් රාජපක්ෂ මහතා කීය. පසුගිය වසරේ මහ කන්නයේ වී ගොවීන් සඳහා පොහොර සහනාධාරය වශයෙන් ලබාදුන් මුදල රුපියල් කෝටි 1100 (මිලියන 11,000) කි.