සමහර සිංහල අයට එම්.සී.සී. කමිටු වාර්තාවේ ඉංගිරිසි පිටපත් වුවමනා ළු ඇති බව මහාචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි.
කමිටුව සිය වාර්තාව දුන්නෙ රජයට – රටේ ප‍්‍රමුඛතම රාජ්‍ය භාෂාවෙන්. මෙතෙක් භාරදී ඇති වෙනත් බොහෝ වාර්තා තිබුණෙ ඉංගිරිසියෙන් පමණයි. කවුරුවත් තොරතුරු දැනගැනීමේ පනතින් ඒවායේ පිටපත් සිංහලෙන් ඉල්ලූ බවක් මා නම් දැන සිටියේ නැහැ. සිංහල නොතේරෙන නිසා ඉංගිරිසි පිටපත් ඉල්ලීම ලැජ්ජාවක් නොවුණ ද ඉංගිරිසි නොතේරෙන නිසා සිංහල පිටපතක් ඉල්ලීම ලැජ්ජාවක් වී ඇති බවයි පෙනෙන්නෙ. ඉංගිරිසියට වහල් වුණු දීන මානසිකත්වයක් ඇති කළු සුද්දන් රැළක් බවට සිංහලයන් පත්වී ඇති බවට මෙය අපූරු නිරූපණයක් !
ජාත්‍යන්තරයට අවශ්‍ය සන්නිවේදනයක් උදෙසා ඉංගිරිසි පරිවර්තනයක් කර ගැනීම එක් දෙයක්. ඒත්, රට තුළ ඉන්න හමින් – නමින් සිංහල වුව ද සිතින් – වැඩවලින් සුද්දන් වී ඇති ලැජ්ජා නැති සිංහලයන් වෙනුවෙන් නම් මේ වාර්තාව රජයේ වියදමින් ඉංගිරිසියට පරිවර්තනය නොකළ යුතු යි.
මට පෙනෙන විදියට අපේ කමිටු වාර්තාවට රට තුළ ඉහළ ඉල්ලූමක් ලැබීලා. ඒ නිසා ඉංගිරිසි පරිවර්තන අවශ්‍ය අය එය පරිවර්තනය කර ගත්තාට අපේ තරහක් නැහැ. ඒ උදෙසා අවශ්‍ය මුදල් ගෙවා පරිවර්තනය කර ගන්න. එවිට අඩු වශයෙන් සිංහල ඉගෙනගත් පරිවර්තකයකුට හෝ අගයක් ලැබෙනවා. රජය විසින් පරිවර්තනය කරන්නේ නම් අඩු වශයෙන් වචනයකට රුපියල් 2 ක් වත් අයකර මිස ලබාදිය යුතු නැහැ. අපට ඔය ඇමෙරිකානු නව ලිබරල් ආර්ථික පාඩමේ උගන්වන්නෙත් ‘‘කිසිවක් නොමිලේ නැත” කියලා නෙ! මේ රටේ බහුතරයක් වූ අහිංසක සිංහල ගැමියන්ගෙ බදු මුදලින් සංස්කෘතිකමය වශයෙන් යුරෝපීයන් හෝ අමෙරිකානුවන් වී ඇති අලජ්ජී සිංහල බැරි සිංහලයන්ට ඒ ඉංගිරිසි පරිවර්තන රජය විසින් නොමිලේ ලබා දෙන්නේ නම් එය පාපයක් ! අදාළ ගෙවීම් කිරීමට අකැමැති සහ සිංහල පිටපත කියවන්න තේරෙන්නෙ නැති සිංහල අය සිටිත් නම් ඒ අයට ආයෙම ඉස්කෝලෙ ගිහින් සාමාන්‍ය පෙළ සිංහලවත් ඉගෙනගෙන එන්න කියමු.
ලංකාවෙ හිටියට සංස්කෘතියෙන් ඉංගිරිසි වෙලා සිටින අය දැන්වත් තමන්ට වී ඇති හදිය තේරුමගෙන අපේ මවු බසට අවශ්‍ය භාවිතමය වටිනාකම ලබාදීමට අදිටන් කළ යුතු යි. දෙමළ සහෝදරයන් තම මවුබසට ඉතා ඉහළ භාවිත වටිනාකමක් දෙනවා. ඒ අතින් අප ලැජ්ජා විය යුතු යි. දැන්වත් ඇස් ඇරිය යුතුයි. උසස් අධ්‍යාපනය ඇතුළු රජයේ කටයුතු ඇතුළු ව්‍යාපාරික කටයුතු – නිල සටහන් ඇතුළු සියලූ දේ හැකි පමණ සිංහලෙන් කළ යුතු යි. ඉංගිරිසි දැන ගැනීම වැදගත් – ඒත් ඒ බාහිරයන් සමග සන්නිවේදනයට පමණයි.
එ සේ නොවුණහොත් තව පරම්පරාවකට වඩා අපේ මේ වටිනා භාෂාව ජීවමානව පවතින එකක් නැහැ. භාෂාව මළ දාට සිංහල ජාතිය ඉබේම මැරෙනවා. ජාතිය ජීවත් වන්නේ ලේ තුළ නොවෙයි. භාෂාව හා සංස්කෘතිය තුළ යි. දැන්වත් ඒ බව තේරුම් ගන්න.
(Lanka Leads)