Sunday, October 20, 2024
Follow Us
කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව තෙදින විවාදයක්

කථානායකවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව තෙදින විවාදයක් ලෙස ලබන 21 වැනිදාත් විවාද කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වෙයි

  • 22 වැනි සිකුරාදා ප.ව 12.30 සිට විපක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාව අනුව ‘වී අස්වැන්න අලෙවිකර ගැනීම ඇතුළුව ගොවීන් මුහුණ දෙන අනෙකුත් ගැටලු’ සම්බන්ධ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වීමටත් තීරණයක 
  • අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සදහා එදින පෙ.ව 9.30 සිට ප.ව 12.30 කාලය වෙන් කෙරේ 
  • අප්‍රේල් පළමු පාර්ලිමේන්තු සතියට අදාළ රැස්වීම් අප්‍රේල් 1 සහ 2 දෙදින පැවැත්වීමටත් තීරණයක් 

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය සදහා ලබන 21 වැනි බ්‍රහස්පතින්දා දිනයත් වෙන් කිරීමට අද (19) කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය වූ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය.

විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදය මාර්තු 19 සහ 20 දෙදින විවාදයට ගැනීමට මීට පෙර තීරණය වූ අතර නව තීරණයත් සමග එය තෙදින විවාදයක් ලෙස මාර්තු 19, 20 සහ 21 දිනවල පැවැත්වේ. මේ අනුව විශ්වාසභංග යෝජනාවට අදාළ ඡන්ද විමසීම 21 වැනි බ්‍රහස්පතින්දා ප.ව 4.30 පැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබේ. අනතුරුව කථානායකවරයා විසින් විශේෂ ප්‍රකාශයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. එසේම 21 වැනිදාට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු ඉදිරි සතියේදී විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය වී ඇත.

මේ අතර විපක්ෂය ගෙනෙන යෝජනාවට අනුව ‘වී අස්වැන්න අලෙවිකර ගැනීම ඇතුළුව ගොවීන් මුහුණ දෙන අනෙකුත් ගැටලු’ පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය ලබන 22 වැනි සිකුරාදා ‍ප.ව 12.30 සිට ප.ව 6.00 දක්වා පැවැත්වීමට ද මෙහිදී තීරණය වූ බව මහ ලේකම්වරිය පැවසුවාය. එසේම පෙර තීරණය කළ පරිදි අභාවප්‍රාප්ත හිටපු මන්ත්‍රීවරුන් වන ආර්. එම් කරුණාරත්න,  බන්දුල බස්නායක සහ වෛද්‍යාචාර්ය පී.එම්.බී සිරිල් යන මහත්වරුන් වෙනුවෙන් ශෝක යෝජනා ඉදිරිපත් කිරීම සදහා එදින පෙ.ව 9.30 සිට ප.ව 12.30 දක්වා කාලය වෙන් කර ඇත.

තවද අප්‍රේල් පළමු පාර්ලිමේන්තු සතියට අදාළ රැස්වීම් අප්‍රේල් 1 සහ 2 දෙදින පැවැත්වීමටත් මෙහිදී තීරණය වී තිබේ. අප්‍රේල් පළමු පාර්ලිමේන්තු රැස්වීම් සතියේ සිංහල දමිල අලුත් අවුරුදු නිවාඩුව යෙදීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත. මෙම දින දෙකට අදාළ පාර්ලිමේන්තු කටයුතු ඉදිරි දිනයකදී තීරණය කිරීමට ද මෙහිදී එකඟත්වය පළවී ඇත.