Wednesday, October 23, 2024
Follow Us
මධ්‍යම සංස්කෘතික අරමුදල සජිත්ට තවත් නිධානයක්ද ?

නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාලසීමාව තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් රුපියල් මිලියන 1,500ක් පමණ තම පෞද්ගලික දේශපාලන කටයුතු සඳහා වැයකිරීමට ලබාගෙන ඇති බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ චෝදනා කරයි.

පසුගිය සතියේ පැවති මාධ්‍ය හමු දෙකකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩලස් අලහප්පෙරුම සහ කාංචන විජේසේකර යන මහත්වරුන් පෙන්වා දුන්නේ සජිත් ප්‍රේමදාස මහතා තම පුද්ගලික ප්‍රතිරූපය ප්‍රවර්ධනය කරගැනීමේ ප්‍රචාරණ කටයුතු සඳහා මෙතරම් විශාල මුදලක් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ලබාගෙන ඇති බවය.

එසේම පසුගිය අගෝස්තු 21 වනදා වනවිටත් ඔහු තවත් රුපියල් මිලියන 300ක මුදලක් ඉන් ලබාගැනීමට උත්සාහ කරමින් සිටි බවටත් ඔවුහු චෝදනා කළහ.

ඔවුන් ප්‍රකාශ කළේ මෙම වංචාව දෙවැනි වන්නේ මහබැංකු බැඳුම්කර වංචාවට පමණක් බවයි. එතැනදී නම් ඔවුන්ට වැරදී තිබේ. මහබැංකු බැඳුම්කර වංචාවේදී රජයට සිදුවුණු පාඩුව ලෙස ගණන් බලා අදාළ චූදිතයින්ට එරෙහිව අධිචෝදනා ගොනු කර ඇත්තේ රුපියල් මිලියන 689කට ආසන්න මුදලක් සඳහාය. ඒ අනුව බලන කල සජිත් ප්‍රේමදාස මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් රුපියල් මිලියන 1,500ක් ලබාගෙන ඇතිනම් එය පසුගිය වසර හතර හමාර තුල සිදු කෙරුණු දැවැන්තම මූල්‍ය අක්‍රමිකතාව වනු ඇත.

සජිත් ප්‍රේමදාස මහතා පසුගිය කාලසීමාව තුළ සිය පුද්ගල ප්‍රතිරූපය ප්‍රවර්ධනය කිරීම සඳහා පුවත්පත් දැන්වීම් වෙනුවෙන්ම පමණක් දිනපතා රුපියල් මිලියන 5 - 6 බැගින් වැයකොට ඇති බවට චෝදනා එල්ල වී තිබිණි.

(LNW)