Wednesday, December 25, 2024
Follow Us
සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමැති සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් අතර හමුවක්

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලීන් ද ජයතිස්ස මහතා සහ ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා අතර හමුවක් අද (26) සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු විය.

ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයෙන් කළ ඉල්ලීමකට අනුව මෙම හමුව සිදු විය.

වත්මන් රජය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශ තුලින් ඉදිරියේ දී දියත් කිරීමට සැළසුම් කර ඇති ව්‍යාපෘති කිහිපයක් පිළිබදව මෙහිදී පුළුල්ව සාකච්ඡාවට ලක් වූ අතර, දැනට ක්‍රියාත්මක ව්‍යාපෘති සහ වැඩසටහන් කිහිපයක වත්මන් ක්‍රියාකාරිත්වය පිළිබදව ද තොරතුරු විමසා බැලීමක් මෙහිදී සිදු විය.

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා මෙහිදී කියා සිටියේ ශ්‍රී ලංකාව තුල ඉන්දියානු රජය විසින් ශ්‍රී ලාංකිකයන්ට වඩාත් ප්‍රයෝජනවත් වන ව්‍යාපෘති සහ සංවර්ධන ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කරන බවත් ඉදිරියටත් මෙරට සෞඛ්‍ය සේවාව ඇතුලු සියළු සේවාවන් හි උන්නතිය සදහා සහයෝගය ලබාදීමට කටයුතු කරන බවයි.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලීන් ද ජයතිස්ස මහතා කියා සිටියේ මෙරට සෞඛ්‍ය සේවාව ඉහළ නැංවීමට මෙන්ම  ද්විපාර්ශ්වික සබඳතා ඉහළ නැංවීම සදහා ඉන්දීය රජය දක්වන දායකත්වය ඉතා අගය කොට සළකන බවයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් කේ.එම් වත්සලා ප්‍රියදර්ශනී, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නියෝජනය කරමින් පළමු ලේකම්වරුන් ලෙස Devika Lal  සහ Navya Singla  යන මහත්ම මහත්මීන් ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුලු පිරිසක් එක්ව සිටියහ.