Saturday, October 19, 2024
Follow Us

කොළඹ ආරක්ෂක සමුළුවේ (CSC) සාමාජික රටවල් වන ශ්‍රී ලංකාව, ඉන්දියාව, මාලදිවයින සහ මොරිෂස් යන රටවල්, කොළඹ ආරක්ෂක සමුළුවේ මහලේකම් කාර්යාලය පිහිටුවීම සඳහා වන ප්‍රඥප්තිය සහ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම ඊයේ (30) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදුකෙරිණ.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් (Mr. Ajit Doval K. C.), මාලදිවයිනේ ජාතික ආරක්ෂක උපදේශක ලුතිනන් කර්නල් (විශ්‍රාමික) ඊබ්‍රාහිම් ලතීෆ් මහතා (Mr. Ibrahim Latheef, DC (Retd.), Lt Col (Retd.)), ශ්‍රී ලංකාවේ මොරිෂස් මහ කොමසාරිස් හේමන්ඩෝයල් ඩිලුම් (Haymandoyal Dillum) සහ ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක යන මහත්වරුන් අදාළ සාමාජික රටවල් වෙනුවෙන් ගිවිසුම්වලට අත්සන් තැබූහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති කාර්ය මණඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා, බාහිර තර්ජනවලින් ඔබ්බට ගොස් තාක්ෂණික දියුණුව නිසා ඇතිවන අභ්‍යන්තර අභියෝග සහ එවැනි තත්ත්වයන් වැඩිදියුණු වීම කළමනාකරණය කිරීම ජාතික ආරක්ෂාව විෂය පථයට ඇතුළත් වන බව සඳහන් කළේය.
අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මූලික අයිතිවාසිකමක් වුවද, වත්මන් ඩිජිටල් යුගය තුළ එමඟින් ඇතිවන අහිතකර බලපෑම් කළමනාකරණය කිරීම සඳහා රජයන් වඩාත් ප්‍රායෝගිකව කටයුතු කළ යුතු බව ද සාගල රත්නායක මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

කොළඹ ආරක්ෂක සමුළුවෙහි මූලික පරමාර්ථය වන්නේ සාමාජික රටවලට පොදුවේ බලපාන අන්තර්ජාතික තර්ජන සහ අභියෝග පිළිබඳ කටයුතු කිරීමෙන් කලාපීය ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීමයි.

කොළඹ ආරක්ෂක සමුළුව, සමුද්‍රීය ආරක්ෂාව, ත්‍රස්තවාදය සහ රැඩිකල්කරණයට එරෙහි වීම, ජාවාරම් සහ අන්තර්ජාතික සංවිධානාත්මක අපරාධවලට එරෙහිව සටන් කිරීම, සයිබර් ආරක්ෂාව හා වැදගත් යටිතල පහසුකම් හා තාක්ෂණය ආරක්ෂා කිරීම සහ මානුෂීය ආධාර හා ආපදා සහන සැලසීම යන සහයෝගීතාවයේ කුළුණු පහක් මත ක්‍රියාත්මක වේ.