Saturday, October 19, 2024
Follow Us
චීන යුද නෞකා නිල සංචාරය නිමා කරමින් දිවයිනෙන් පිටත් වෙයි

2024 අගෝස්තු මස 26 වන දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි මහජන චීන විමුක්ති හමුදාවේ (Chinese People's Liberation Army Navy)  යුද නෞකාවන් වන "HE FEI", "WUZHISHAN" සහ "QILIANSHAN" යන යුද නෞකා ත්‍රිත්වය, එම නිල සංචාරය සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකා නාවික නෞකා විජයබාහු නෞකාව සමඟ පැවති ඒකාබද්ධ නාවික අභ්‍යාසයකින් පසුව, අද දින (2024 අගෝස්තු 29) දිවයිනෙන් පිටත්ව යන ලද අතර, එම නෞකා වෙත ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික හමුදා සම්ප්‍රදායානුකූලව සමුදීම කොළඹ වරායේදී සිදු කෙරිණි.

 

මෙම ඒකාබද්ධ නාවික අභ්‍යාසයේදී (PASSEX) නෞකා පෙළ හැඩයන් ඔස්සේ ගමන් කිරීම, නෞකා අතර පණිවුඩ හුවමාරුව වැනි නාවික අභ්‍යාසයන් සාර්ථකව සිදු කරන ලද අතර, නෞකා අතර ආචාර සමාචාර සිදු කිරීමෙන් අනතුරුව එම අභ්‍යාසය නිමාවට පත්විය.

"HE FEI", "WUZHISHAN" සහ "QILIANSHAN" යන යුද නෞකා ත්‍රිත්වයේ අණදෙන නිළධාරීන් සහ බටහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් චින්තක කුමාරසිංහ අතර නිල හමුවක් 2024 අගෝස්තු මස 26 වන දින බටහිර නාවික විධාන මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු කෙරිණි.

එමෙන්ම, එම නෞකා ත්‍රිත්වය දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ එහි අණදෙන නිලධාරීන් එහි නැව් මුළුව ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය වැඩිදියුණු කිරීම වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහන් සඳහා මෙන්ම දිවයිනේ වැදගත් ස්ථාන නැරඹීම සඳහා ප්‍රදේශ කිහිපයක සංචාරය කිරීමටද කටයුතු කෙරුණු අතර, නෞකාවන්ගේ මෙහෙයුම් ක්‍රියාකාරිත්වය පිළිබඳව ශ්‍රී ලංකා නාවික හමුදා පුද්ගලයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් එම නෞකා තුළ පැවැත්වීමටද කටයුතු කෙරිණි. 

තවද, විදේශීය නාවික හමුදාවන්ට අයත් ‍නෞකා විසින් සිදුකරනු ලබන මෙවැනි සුහද සංචාර මඟින්, දෙරටේ නාවික හමුදාවන් අතර සුහදත්වය හා සහයෝගීත්වය වැඩිදියුණු වන අතර, එම නෞකා සංචාරයන්ට සමගාමීව සිදු කරනු ලබන ඒකාබද්ධ නාවික අභ්‍යාස තුළින් හුවමාරු කරගනු ලබන නව දැනුම සහ අත්දැකීම්, ඉදිරියේදී සාගර කළාපයේ පොදු සමුද්‍රීය අභියෝග සාමූහිකව ජයගැනීම සඳහා මහඟු පිටුවහලක් ගෙනදෙනු ඇත.