Saturday, October 19, 2024
Follow Us
නවීකරණය කළ මාතර අමෙරිකානු පියස විවෘත කෙරේ

නවීකරණය කරන ලද මාතර අමෙරිකානු පියස විවෘත කිරීම ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපති ජුලී චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

2018 වසරේ සිට විවෘතව පවතින මාතර අමෙරිකානු පියස, විවිධ වැඩසටහන්, සිදුවීම් සහ ඉගෙනුම් අවස්ථා හරහා එක්සත් ජනපදයේ සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර සබඳතා යා කරන පාලමක් වී තිබෙන බව ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය පවසයි.

පුළුල් කරන ලද මාතර අමෙරිකානු පියස, නවීකරණවලින් පසු ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට ව්‍යවසායකත්වය, නායකත්වය, ඉංග්‍රීසි භාෂාව, STEM සහ අනෙකුත් ප්‍රධාන ක්ෂේත්‍ර ඉගෙන ගැනීමට නොමිලේ නවමු වැඩසටහන් පැවැත්වීමට එම පියසට මුලින් වූ ධාරිතාව දෙගුණ කරගෙන ඇති අතර මාතර පිහිටි අමෙරිකානු පියස ලොව පුරා සෑම භූගෝලීය කලාපයකම රටවල් 140කට වැඩි ගණනක සංස්කෘතික හා තොරතුරු මධ්‍යස්ථාන 600කට අධික සංඛ්‍යාවකින් සමන්විත එක්සත් ජනපදයේ ගෝලීය අමෙරිකානු අවකාශ ජාලයේ කොටසකි.

මේ අවස්ථාවට සහභාගි වූ තානාපතිනිය මෙසේ සඳහන් කළාය.“මාතර අමෙරිකානු පියස දිගු කලක් තිස්සේ දකුණේ ජවසම්පන්න ප්‍රජාවට ඉගෙනීම, නවෝත්පාදන සහ සංස්කෘතික හුවමාරුව සඳහා කේන්ද්‍රස්ථානයක් වී තිබෙනවා. අලුතින් පුළුල් වූ මේ අවකාශය සමඟ, වැඩිවන ඉල්ලුම සපුරාලීමට මාතර සහ පුළුල් දකුණු ප්‍රදේශයේ ජනතාවට ආර්ථික අවස්ථා, අධ්‍යාපනයට අපට සහාය වන තවත් සම්පත් සැපයීමට හැකිවීම ගැන අප සතුටු වෙනවා.”

මාතර අමෙරිකානු පියස කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලයේ අමෙරිකානු අවකාශ ජාලයේ කොටසක් වන අතර, කොළඹ, යාපනය, මහනුවර, මාතර සහ මඩකලපුවේ පිහිටා ඇති මේ පියැසි, වැඩසටහන් සහ දේශන හරහා මෙන්ම පොත්පත්, චිත්‍රපට සහ සඟරා හරහා එක්සත් ජනපදය පිළිබඳව ඉගෙනීමට එහි පැමිණෙන අමුත්තන්ට අවස්ථාව සලසා දෙයි. මේ අමෙරිකානු අවකාශ සෑම තරාතිරමකම ශ්‍රී ලාංකිකයන්ට පොදු සහ ගෝලීය වශයෙන් උනන්දුවක් දක්වන ගැටලු සම්බන්ධයෙන් එකට එක්වීමට, දැනුම බෙදාගැනීමේ සහ සහයෝගීතාවයේ වේදිකා වේ. පුළුල් සම්පත් වෙත ප්‍රවේශය සහ ප්‍රජා ක්‍රියාකාරකම්වලින් අධ්‍යාපනික වර්ධනය, සංස්කෘතික හුවමාරුව සහ සමාජ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීමට මේ අවකාශ කැපවී ඇත.

අමෙරිකානු අවකාශ (virtual) අතථ්‍යව සහ පුද්ගල වශයෙන් (in-person) සහභාගි විය හැකි අන්තර් ක්‍රියාකාරී වැඩසටහන් රාශියක් සංවිධාන කරයි. ඉංග්‍රීසි භාෂා වැඩමුළු, ව්‍යවසායක උපදේශනය, එක්සත් ජනපද උසස් අධ්‍යාපනය පිළිබඳ සැසි, එක්සත් ජනපද ප්‍රතිපත්ති, සමාජය සහ සංස්කෘතික සාකච්ඡා, චිත්‍රපට තිරගත කිරීම් සහ කතාන්දර සැසි යනාදී වශයෙන් සෑම අයකුටම අදාළ වන අන්දමේ කුමන හෝ වැඩසටහනක් එහි තිබේ. 2023 දී, ගෝලීය අමෙරිකානු අවකාශ ජාලය, එනම් අමෙරිකානු මධ්‍යස්ථාන, අමෙරිකානු පියැසි සහ ද්විජාතික මධ්‍යස්ථාන හරහා කළ මිලියන 1.5කට ආසන්න නියැළීමේ වැඩසටහන් සහ අවස්ථා ඔස්සේ ලොව පුරා මිලියන 41කට අධික ජනතාවක් වෙත ළඟා වී තිබේ.