Saturday, October 19, 2024
Follow Us
ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති කථානායක හමු වෙයි

ශ්‍රී ලංකාවෙන් පිටත්ව යන ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් එම්.එච් සෙයිඩ් මහතා පසුගියදා (07) පාර්ලිමේන්තුවේ දී කථානායක  මහින්ද යාපා අබේවර්ධන මහතා හමුවිය. මේ අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ද එක්ව සිටියාය.

මෙම හමුවේදී කථානායකවරයා පලස්තීනයේ වත්මන් තත්ත්වය පිළිබඳව විමසා සිටියේය. මෙහිදී අදහස් දක්වමින් පලස්තීන තානාපතිවරයා වර්තමානයේ පලස්තීනය මුහුණ දී සිටින ආර්ථික, සමාජීය සහ මානුෂීය ගැටලු පිළිබඳව දැනුවත් කළේය.

දුෂ්කර අවස්ථාවන්හිදී පලස්තීනය වෙනුවෙන් සහයෝගය ලබාදුන් සියලුම ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් තානාපතිවරයා සිය කෘතඥතාව කථානායකවරයා වෙත පළ කළේය. ශ්‍රී ලංකාවේ සේවය කළ කාලය තුළ, තමන් වෙත දැක්වූ සහයෝගය පිළිබඳව ශ්‍රී ලංකාවට ස්තුතිය පළ කළ තානාපතිවරයා දෙරට අතර ඓතිහාසික සබඳතා තවදුරටත් වර්ධනය කරගත යුතු බව අවධාරණය කළේය. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ පවත්වා ජයග්‍රහණය කිරීමෙන් පෞද්ගලික ආයෝජන ගෙන්වා ගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකාව සහ පලස්තීනය අතර රාජ්‍ය තාන්ත්‍රික හා සංස්කෘතික සබඳතා ප්‍රවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ආචාර්ය සුහයිර් මහතා දැක්වූ සහයෝගය පිළිබඳව කථානායකවරයා සිය ප්‍රසාදය පළ කළේය.