Saturday, October 19, 2024
Follow Us
ජන ඝණත්වයෙන් සහ වන ඝණත්වයෙන් ශ්‍රී ලංකාව ලෝකයේ සිටින තැන

ජන ඝණත්වය වර්ග කිලෝමීටරයකට 300 වඩා පවතින සහ වන ගහනය 30% සීමාවේ  පවත්වාගෙන යන  ලොව රටවල් 3 අතර ශ්‍රී ලංකාව  පසුවන බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ දී අනාවරණය විය. 

ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව එලෙස වනාන්තර පද්ධතියක් පවත්වාගෙන යනු ලබන්නේ  දකුණු කොරියාව, ජපානය යන රවටල් දෙක පමණක් වන බව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පැවසුහ.

මේ පිළිබද කරුණු අනාවරණය වූයේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව පසුගියදා (25) පාර්ලිමේන්තුවේ දී රැස්වූ අවස්ථාවේ දීය. 

2020, 2021 හා 2022 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යයසාධනය පිළිබඳ පරික්ෂා කිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මෙදින කාරක සභාව හමුවට කැඳවා තිබුණි. 

ලෝක‍යේ රටවල් තුළ  පවතින  වනාන්තර වල  ප්‍රතිශතය 31% ලෙස  සලකන අතර මෙරට වනාන්තර ප්‍රතිශතය 30% මට්ටමේ පැවතීම ඉතා යහපත් තත්ත්වයක් වන බව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීහු පෙන්වා දුන්හ.