Saturday, October 19, 2024
Follow Us
ඕස්ට්‍රේලියානු රජයෙන් ජලශාස්ත්‍රීය මිනුම් කටයුතු පුළුල් කිරීමට එකඟතාවක්

ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ උතුරු සහ දකුණු ආසියානු කලාපීය සහකාර ලේකම් Karen Radford මහත්මිය ආරක්‍ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා කොළඹ පිහිටි සිය කාර්යාලයේ දී ඊයේ (ජුලි 30) හමුවිය.

ඕස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ උතුරු සහ දකුණු ආසියානු කලාප සහකාර අධ්‍යක්‍ෂ Lachlan Sillar මහතා, ප්‍රතිපත්ති නිලධාරී Noah Diamantopoulos මහතා සහ කොළඹ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කර්නල් Amanda Johnston ද ඕස්ට්‍රේලියානු නියෝජිත පිරිසට එක්ව සිටියහ.

සිය කාර්යාලය වෙත ඊයේ පැමිණි ඔස්ට්‍රේලියානු දූත පිරිස අමාත්‍ය තෙන්නකෝන් විසින් ඉතා උණුසුම් අයුරින් පිළිගනු ලැබීමෙන් අනතුරුව ඔවුන් සමග සුහද සාකච්ඡාවක් ද පවත්වනු ලැබීය.

සාකච්ඡාව අතරතුරදී ඕස්ට්‍රේලියානු රජයේ මැදිහත්වීමෙන් ජලශාස්ත්‍රීය මිණුම් උපකරණ තොගයක් ලබා ගැනීමට සහ එම උපකරණ ශ්‍රී ලංකා නාවික හමුදාවට පරිත්‍යාග කිරීමට 2024 පෙබරවාරි මාසයේ දී පැවති සාකච්ඡා වල දී එකඟ වූ බවත් එළබෙන සැප්තැම්බර් මාසයේ දී එම උපකරණ ශ්‍රී ලංකාවට ලබා දීමට බලාපොරොත්තු වන බවත් Radford මහත්මිය ප්‍රකාශ කළාය.

Kongsberg ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන මෙම උපකරණ කට්ටලය නොගැඹුරු ජල බහු-කදම්භ echo sounder සහ ඒ ආශ්‍රිත උපකරණ වලින් සමන්විත වන අතර එය ශ්‍රී ලංකාවේ ජල ශාස්ත්‍රීය පර්යේෂණ හා මිනුම් කටයුතු වල හැකියාවන් ඉහළ නැංවීමට සෘජුවම දායක වනු ඇත.

මීට අමතරව දෙරට අතර ආරක්‍ෂක සබඳතා තහවුරු කිරීම පිළිබඳව සාකච්ඡා කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ ආරක්‍ෂක අමාත්‍යාංශයේ සහ ඔස්ට්‍රේලියානු ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අතර පළමු වතාවට පැවැත්වීමට නියමිත 'ආරක්‍ෂක සංවාදය' සදහා දැනට පවතින පෙර සූදානම පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කරනු ලැබීය. ඊට අමතරව ඉන්දියානු සාගර කලාපයේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් වන ද්වීපාර්ශ්වික සහයෝගිතාවය, දෙපාර්ශ්වයටම බලපාන ආරක්‍ෂක අභියෝග සහ එම අභියෝග පිටුදැකීම සදහා අවශ්‍ය කෙරෙන අන්තර් සබඳතා ආදී කරුණු රාශියක් පිළිබඳව ද සාකච්ඡා කරනු ලැබීය.