Saturday, October 19, 2024
Follow Us
කිරි කර්මාන්තය නැංවීමට නවසීලන්ත රජයේ සහයෝගය

ශ්‍රී ලංකාවේ කිරි කර්මාන්තය නංවාලීම සඳහා අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබා දීමට පියවර ගන්නා බව ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් Hon. David Pine මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ, කෘෂිකර්ම හා වැවීලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ ශ්‍රී ලංකාවේ නවසීලන්ත මහකොමසාරිස්වරයා අතර ඊයේ (30) පැවති හමුවකදීය.

මෙහිදී අදහස් පළ කළ අමාත්‍යවරයා, දේශීය කිරි අවශ්‍යතාවයෙන් සියයට 60ක් පමණ තවමත් ආනයනය කරන බවත් මේ නිසා අප රටේ කිරි නිෂ්පාදනය  ඉහළ නැංවීම සඳහා උසස් තත්ත්වයේ ගවයින් හිඟකම, නව තාක්ෂණය හඳුන්වා දීම , උසස් ගව ශ්‍රක්‍රාණු ආනයනය කිරීම අත්‍යාවශ්‍ය බවද කීය.

මේ රටේ කිරි නිෂ්පාදනය සඳහා අවශ්‍ය සියලු තාක්ෂණික සහයෝගය ලබා දීමට නවසීලන්ත රජයට හැකි බවත්, ඒ සම්බන්ධව නවසීලන්ත රජය සමග සාකච්ඡා කර පියවර ගන්නා බවත් මහකොමසාරිස්වරයා සඳහන් කළේය.

එමෙන්ම අප රටේ වගා කරන අන්නාසි, අඹ හා සම්බන්ධවත් මෙහිදී විශේෂයෙන් සාකච්ඡා විය.

එහිදී ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත අන්නාසි හා අඹ නවසීලන්තයට අපනයනය කිරීම සඳහා අවස්ථාවන් ලබා දීමට ද මෙම සාකච්ඡාවේ දී මහකොමසාරිස්වරයා එකඟතාවය පළ කළේය.

දැනට විදේශ වෙළෙඳපළේ ඉහළ ඉල්ලුමක් ඇති HAAS නැමැති අලිගැටපේර වගාව ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරය ආශ්‍රිතව වගා කිරීම ආරම්භ කර තිබෙන අතර  මෙම අලිගැටපේර වගාව සඳහා තවදුරටත් නවසීලන්ත රජයේ සහයෝගය ලබා දෙන ලෙස කෘෂි තාක්ෂණය පිළිබඳ අතිරේක ලේකම් ශිරෝමණී එදිරිමාන්න මහත්මිය මෙහිදී සඳහන් කළාය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් සහභාගි වී සිටියහ.