Sunday, October 27, 2024
Follow Us
අදානි ලෝකයේ තුන්වැනි ධනවතා වෙයි

එලන් මස්ක් ලොව පළමු ධනවතා


බ්ලූම්බර්ග් ආයතනයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ඉන්දීය ප්‍රකට ව්‍යාපාරික ගෞතම් අදානි ලොව ධනවතුන් අතර තුන්වැනි ස්ථානයට පත්වී තිබේ. ඒ, මෙතෙක් එම ස්ථානයේ පසුවූ ප්‍රංශයේ බර්නාඩ් ආර්නෝල්ට් සිව්වැනි තැනට පත් කරමිනි. ඒ අනුව දැනට ඔහුට ඉදිරියෙන් සිටින්නේ ඇමරිකානු ජාතික ධනවතුන් දෙදෙනකු වන එලන් මස්ක් හා ජෙෆ් බෙසොස් පමණකි.

මෙය ආසියානු ජාතිකයකු ලොව ඉහළම ධනවතුන් තුන්දෙනා අතරට එක්වූ පළමු අවස්ථාවය. ඉන්දීය ධන කුවේර මුකේෂ් අම්බානි හෝ චීනයේ ජැක් මා හට එම තත්ත්වයට ළඟාවීමට අවස්ථාවක් ලැබුණේ නැත. ගෞතම් අදානිගේ වර්තමාන වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 137.4කි. ඔහු මෙම වසරේදී පමණක් ඩොලර් බිලියන 60.9ක් ඊට එක් කරගෙන තිබේ.

ඉන්දියාවේ පෞද්ගලික අංශයට අයත් විශාලතම වරායද ඔහුට අයත්ය. දියමන්ති ව්‍යාපාරයෙන්, ගල්අඟුරු ව්‍යාපාරයට පිවිසුණු අදානිගේ ව්‍යාපාරික ජාලය මේ වනවිට ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදී තිබේ. ඔහුට අයත් ඔස්ට්‍රේලියාවේ කාමිකායෙල් ආකරය පරිසරවේදීන්ගේ විවේචනයන්ට නිතර ගොදුරු වූවකි. මේ නිසා ලබන නොවැම්බරයේදී හරිත බලශක්ති ක්ෂේත්‍රය තුළ ඩොලර් බිලියන 70ක් ආයෝජනය කරමින් ලොව විශාලතම පුනර්ජනනීය බලශක්ති ව්‍යාපාරය ගොඩනැගීමට අදානි අදහස් කර තිබේ.

Aruna