Sunday, October 27, 2024
Follow Us
නියඟය නිසා සිඳුණු ගඟකින් බුදු පිළිම මතුවේ

නිරිතදිග චීනයේ ප්‍රබල නියං තත්ත්වයක්


නිරිතදිග චීනයට බලපා ඇති දැඩි නියඟය හේතුවෙන් එහි යැංසි නම් ගංගාවෙන් පැරණි දූපතක නටඹුන් මතු වී තිබේ. චීනයේ ෂින්හුවා මාධය ආයතනය ප්‍රකාශ කරන්නේ ඒ අතර වසර 600ක් තරම් පැරණි යැයි සැලකිය හැකි බුද්ධ ප්‍රතිමා ත්‍රිත්වයක්ද පවතින බවය. මෙම බුදු පිළිම මතු වී ඇත්තේ එම දූපතේ ඉහළම කොටස වන ෆෝඩේලියෑං නම් ස්ථානයෙනි. ඒවා මිං හා කිවිං රාජ වංශ අතර කාලයේදී ඉදිකර ඇතැයි සැලකෙන අතර ඉන් එක ප්‍රතිමාවක් නෙළුම් මලක් මත සිටින හිටි පිළිමයක් ලෙස නිර්මාණය කර තිබේ.

නිරිතදිග චීනයේ ප්‍රබල නියං තත්ත්වය හමුවේ යැංසි ගංගාවේ ජල මට්ටම වේගයෙන් පහළ බසිමින් පවතී. යැංසි ද්‍රෝණිය ආශ්‍රිත වර්ෂාපතන මට්ටම පසුගිය ජූලි මාසයේදී වාර්තා වූයේ එහි සාමාන්‍ය අගයට වඩා 45%ක් අඩුවෙනි. ඒ අතර ප්‍රදේශයේ ඉහළ උෂ්ණත්වය තවත් සතියක්වත් පවතී යැයි කාලගුණ අනාවැකිවලින් කියැවේ.

චීනයේ මාධ්‍ය ආයතනයක් වන CCTV නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ එරට ගංගා 66ක් සිඳී යමින් පවතින බවය. ආසියාවේ දිගම ගංගාව මෙන්ම ලොව තෙවැනියට දිගම ගඟ වන්නේද යැංසි ගංගාවයි. එසේම එකම රටක් හරහා දිවෙන ලොව දිගම ගංගාවද වන්නේ එයයි. ටැංග්යුලා කඳුවැටියෙන් ආරම්භ වන එය කිලෝමීටර 6300ක් චීනය හරහා ගලාගොස් නැගෙනහිර චීන මුහුදට වැටේ.

Aruna