Sunday, October 27, 2024
Follow Us
අත්අඩංගුවට ගැනීම්වලදී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගැනීම ගැන යුරෝපා සංගමයේ කනස්සල්ල

ශ්‍රී ලංකාවේ මෑත කාලීන අත්අඩංගුවට ගැනීම්වලදී ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිත කිරීම පිළිබඳ යුරෝපා සංගමය කනස්සල්ල පල කර තිබෙනවා. යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්යාලය නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙන්නේ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත භාවිතය සම්බන්ධයෙන් ශ්‍රි ලංකා රජය ජාත්‍යන්තර ප්‍රජාවට ලබාදුන් තොරතුරු සම්බන්ධයෙන්ද සිය අවධානය යොමුව ඇති බවයි.

මෙරට ඇමරිකානු තානාපති ජූලි චන්ග් ට්විටර් සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට අනුකූල නොවන නීති භාවිතය ප්‍රජාතන්ත්‍රවාදයට හානියක් බවයි. ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන ලෙස මෙරට රජයෙන් ඉල්ලා සිටින බවද ඇමරිකානු තානාපතිවරිය නිකුත් කළ ට්විටර් සහටනේ වැඩිදුරටත් දැක්වෙනවා.

මේ අතර ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යොදා ගනිමින් අරගලකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන්, සමඟි ජන බලවේගය අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී එහි ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මෙලෙස අදහස් පල කළා.

රට තුළ හදිසි තත්ත්වයක් නැති බව පවසා හදිසි නීතිය ඉවත් කර ගැනීමෙන් පසුව මහජන උද්ඝෝෂණ මර්දනය කිරීම සඳහා ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සාමාන්‍ය නීතිය ලෙස යොදා ගැනීමේ උත්සහය ලත් තැනම ලොප් කළ යුතු බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසන්නේ. සිවිල් සමාජයට අහිතකර රතු එළි හදුනා නොගැනීමේ වන්දිය අප ඉතිහාසයේ අවස්ථා ගණනකදී ගෙවා ඇති බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම නිකුත් කළ ට්විටර් පණිවිඩයක දැක්වෙනවා.

Neth