Sunday, October 27, 2024
Follow Us
ආහාර මිල උද්ධමනයෙන් ශ්‍රී ලංකාව 05 වන ස්ථානයේ - ලෝක බැංකුව කියයි

ඉහළම ආහාර මිල උද්ධමනයක් පවතින රටවල් අතර ශ්‍රී ලංකාව 05 වන ස්ථානයට පත්ව ඇති බව ලෝක බැංකුව පවසනවා. එම ආයතනය නිකුත් කළ නවතම වාර්තාවකට අනුව ඉහළම ආහාර මිල උද්ධමනයක් පවතින රට වන්නේ ලෙබනනයයි. සිම්බාබ්වේ, වෙනිසියුලාව සහ තුර්කිය ආහාර කාණ්ඩයේ උද්ධමනය අනුව ශ්‍රී ලංකාවට වඩා ඉහළින් සිටින සෙසු රටවල් වනවා.

මේ අතර ජාතික පාරිභෝගික මිල දර්ශකය අනුව පසුගිය ජූලි මාසයේ මෙරට උද්ධමන වේගය සියයට 66 දශම 7ක් දක්වා ඉහල ගොස් ඇති බවයි ජනලේඛණ හා සංඛ්‍යා ලේඛණ දෙපාර්තමේන්තුව පවසන්නේ.

එය පසුගිය ජුනි මාසයේ පැවති උද්ධමන වේගයට සාපේක්ෂව සියයට 7යි දශම 8ක ඉහල යාමක්. ජූලි මාසයේදී ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 82 දශම 5ක් දක්වා ඉහල ගොස් ඇති අතර ඉකුත් ජූනි මාසයේදී එම අගය පැවතුනේ සියයට 75 දශම 8ක් ලෙසයි.

කෙසේවෙතත් ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටිව් හෑන්ක් ගේ උද්ධමන දර්ශකයට අනුව ලොව ඉහළම උද්ධමනයක් සහිත රටවල් අතර ශ්‍රී ලංකාව තවත් එක් පියවරක් පසුබැස තිබෙනවා.

මේවනවිට ශ්‍රී ලංකාව එම දර්ශකයේ පසුවන්නේ සිව්වන ස්ථානයේයි. ඊට අනුව ශ්‍රී ලංකාවේ වර්තමාන උද්ධමන වේගය සියයට 104 ක්. මහාචාර්ය ස්ටිව් හෑන්ක් ගේ උද්ධමන දර්ශකය අනුව ඉකුත් ජුනි මාසයේදී ශ්‍රී ලංකාව පසුවුණේ වැඩිම උද්ධමනයක් සහිත රටවල් අතර 03 වන ස්ථානයේයි.

Neth