Sunday, October 27, 2024
Follow Us
මධ්‍යම අධිවේගයේ චීන ණය අත්හිටුවයි

ඩොලර් මිලියන 51 ක් අහිමිවේ


රජය නව අර්බුදයකට ඇද දමමින් මධ්‍යම අධිවේගී මාර්ගයේ පළමු අදියර ඉදිකිරීම සඳහා අවශ්‍ය ඇමරිකානු ඩොලර් මිලියන 51 ක, ණය මුදලේ කොටසක් චීනයේ එක්සිම් බැංකුව විසින් අත්හිටුවා ඇත. කඩවත සහ මීරිගම අතර කිලෝමීටර් 37 ක පරාසයක් ආවරණය වන පරිදි ව්‍යාපෘතියේ මෙම කොටස නිමවෙමින් පැවතිණි.

මෙම ණය අත්හිටුවීම හේතුවෙන් ව්‍යාපෘතියේ සේවය කළ චීන ජාතිකයන් 500ක් පමණ පිටත්ව යෑමට පටන් ගෙන ඇති අතර එහි ක්ෂණික ප්‍රතිඵලයක් ලෙස ප්‍රදේශවාසීන්ගේ රැකියා 2000 ක් පමණ අනතුරට ලක්ව ඇති බවද මෙම කරුණ තහවුරු කළ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියකු ‘අරුණට’ සඳහන් කළේය.

රටේ වත්මන් ආර්ථික අර්බුදය සහ විදේශ ණය ආපසු ගෙවීම අත්හිටුවීමට ශ්‍රී ලංකා රජය ගෙන ඇති තීරණය සැලකිල්ලට ගනිමින් චීනයේ එක්සිම් බැංකුවෙන් මුදල් මුදා හැරීම ප්‍රධාන වශයෙන් අත්හිටුවා ඇති බව මහා භාණ්ඩාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. මෙලෙස ණය අත්හිටුවීම මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ප්‍රමාදයට හේතු වන අතර, අනෙක් අතට චීනයේ Metallurgical Construction Company (MCC) නම් ව්‍යාපෘති කොන්ත්‍රාත්කරුට දඩ මුදලක් ගෙවීමටද ශ්‍රී ලංකා රජයට සිදුවනු ඇත.

ව්‍යාපෘතියේ ඉදිකිරීම් 2020 සැප්තැම්බර් මාසයේදී ආරම්භ වූ අතර එය 2024 අවසානය වන විට අවසන් කිරීමට ඉලක්ක කර ඇත. මේ වන විට ව්‍යාපෘතියෙන් සියයට 32 ක් පමණ අවසන් කර ඇත්තේ ශ්‍රී ලංකා රජයේ අරමුදල්වලින් වන අතර එහි වටිනාකම රුපියල් බිලියන 33 කි.

Aruna