Sunday, October 27, 2024
Follow Us
රට ගැන වැරදි ප්‍රචාර නිසා සංචාරක කර්මාන්තයට දැඩි බලපෑම් - ඉන්දියාවත් ශ්‍රී ලංකාව මඟ හරී

ඉන්දියාව, පාකිස්තානය, බංග්ලාදේශය හා මාලදිවයින ඉලක්ක කර නව සංචාරක ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. එහි එක් පියවරක් ලෙස ශ්‍රී ලංකා සංචාරක තානාපතිවරයා ලෙස හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය පත් කිරීමට කටයුතු කර ඇත්තේ. ඒ අනුව ඔහු මෙම සංචාරක ප්‍රවර්ධන වැඩසටහන සඳහා ස්වේච්ඡාවෙන් සහභාගිවන බවටයි වාර්තා වන්නේ.

මෙම නව සංචාරක ප්‍රවර්ධන වැඩසටහන ආරම්භ කර ඇත්තේ වසර ගණනාවක් මෙරට ප්‍රධාන සංචාරක වෙළදපොලක් බවට පත්ව තිබූ ඉන්දියාව මේ වනවිට ශ්‍රී ලංකාවෙන් ඉවත්වෙමින් ඇති පසුබිමකයි. සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ පැවසුවේ රට තුළ ඉකුත් සමයේ පැවති තත්ත්වය සම්බන්ධයෙන් එරට මාධ්‍යවල පළ වූ ඍණාත්මක තොරතුරු වාර්තා ඊට හේතුවී ඇති බවයි.

නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් හෝටල් සේවක සංගමයද පැවසුවේ රටේ පැවති තත්ත්වය හේතුවෙන් සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බවයි. මේ එම සංගමයේ ජාතික සංවිධායක ජයතිලක රණසිංහ.

රටට කඩිනමින් ඩොලර් ලබා ගැනීමට නම් කඩිනම් විසදුම් ලබාදිය යුතු හොදම ක්ෂේත්‍රය සංචාරක ක්ෂේත්‍රය බවයි මෙහිදී ප්‍රකාශ කෙරුණේ.

රටේ පැවති තත්ත්වය හේතුවෙන් ආසියානු ක්‍රිකට් කුසලානය මෙරටදී පැවැත්වීමේ අවස්ථාවද ශ්‍රී ලංකාවට අහිමි වුණා. ඒ හේතුවෙන්ද ශ්‍රී ලංකාවට සැලකිය යුතු පාඩුවක් සිදු වු බවටයි වාර්තා වුණේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා පැවසුවේ ආරක්ෂක ගැටලු හා ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳ සෘණාත්මක වාර්තා ආසියානු කුසලානය ශ්‍රී ලංකාවට අහිමි වීමට බලපෑ බවයි. ආසියානු කුසලානය ශ්‍රී ලංකාවේදී පැවැත්වූවා නම් සත්කාරක ගාස්තුව ලෙස ඇමරිකානු ඩොලර් මිලියන 02යි දශම 05ක් ලබා ගැනීමටද අවස්ථාව පැවතියා.

අගෝස්තු මාසය යනු විදේශිකයන් වැඩි වශයෙන් ශ්‍රී ලංකාවට පැමිණෙන මාසයක් ලෙසයි සැලකෙන්නේ. එබැවින් විදේශිකයන් ඉන්ධන ලබාගැනීමට පිරවුම්හල්වලට පැමිණෙන අවස්ථාවේ ඔවුන්ට මූලිකත්වය ලබාදෙන ලෙසයි සංචාරක සංවර්ධන අධිකාරියේ අධ්‍යක්‍ෂ ජනරාල් ධම්මිකා විජේසිංහ මෙහිදී ඉල්ලීමක් කළේ.

Neth