Monday, October 28, 2024
Follow Us
අමෙරිකානු කථානායකවරියගේ තායිවාන සංචාරයට චීනයෙන් දැඩි ප්‍රතිචාර

චීනයේ දැඩි අනතුරු ඇගවිම් නොතකා අමෙරිකානු කථානායක නැන්සි පෙලෝසි තායිවානයට පැමිණියා. ඒ, ඇයගේ ආසියානු නිල සංචාරයට සමගාමීවයි. ඒ අනුව අමෙරිකාවේ ඉහළ පෙළේ නිලධාරියෙකු නිල සංචාරයක් සඳහා තායිවානයට පැමිණියේ වසර 25 කට පසුව වීම විශේෂත්වයක්.

නැන්සි පෙලෝසිගේ මෙම ආසියානු සංචාරයේදී ඇය තායිවානයට පැමිණෙන බවට ඉගිපළවීමත් සමග චීනය, අමෙරිකාවට දැඩි අනතුරු ඇගවීම් නිකුත් කළා. ඔවුන් පැවසුවේ ගින්දර සමග සෙල්ලම් කිරීම භයානක වනු ඇති බවයි.

කෙසේවෙතත් අමෙරිකානු කථානායක නැන්සි පොලෝසි ඉකුත් 01 වනදා සිය ආසියානු සංචාරය ආරම්භ කළ අතර එහිදී ඇය තායිවානයට පැමිණෙන බවට අමෙරිකාව කිසිඳු පූර්ව ප්‍රකාශයක් සිදුකර තිබුණේ නැහැ. කෙසේවෙතත් නැන්සි පෙලෝසි ඊයේ රාත්‍රියේ හදිසියේ තායිවානයට පැමිණියේ චීනය දැඩි ලෙස උදහසට ලක් කරමින්.

මේවනවිට තායිවානයේ රැඳී සිටින අමෙරිකානු කථානායකවරිය අද එරට ජනාධිපතිවරයා සායි ඉන්වෙන් හමුවීමට නියමිතයි. අනතුරුව දහවල් භෝජන සංග්‍රහයෙන් අනතුරුව අමෙරිකානු කථානායක නැන්සි පෙලෝසි තායිවානයෙන් පිටව යනු ඇති.

අමෙරිකානු කථානායක නැන්සි පෙලෝසි තායිවානයට පැමිණීමත් සමග චීනය ද ඊට දැඩි ප්‍රතිචාර දැක්වීම ආරම්භ කර තිබෙනවා.
ඒ අනුව චීනය පැවසුවේ සිය හමුදාව අද සිට දින 03 ක් හමුදා අභ්‍යාස පවත්වන බවයි.

තායිවාන මුහුදු සීමාව ආශ්‍රිතව පවත්වන මෙම හමුදා අභ්‍යාස හේතුවෙන් සිවිල් නැව් හා ගුවන් යානාවලට එම කලාපයට ඇතුළුවීම ද චීනය විසින් තහනම් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මේ අතර චීන විදේශ කටයුතු අමාත්‍යංශය විසින් එරට අමෙරිකානු තානාපතිවරයාට හදිසි කැඳවීමක් සිදුකර ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

කෙසේවෙතත් චීනයේ මෙම ප්‍රකෝපකාරී ක්‍රියාවන්ට ප්‍රතිචාර දක්වමින් අමෙරිකාව පැවසුවේ සිය කථානායකවරියගේ තායිවාන සංචාරය අර්බුදයක් බවට පත් කර ගත යුතු නැති බවයි. එහෙත් චීනය විසින් තායිවානය සලකනු ලබන්නේ සිය රටට අයත් කොටසක් ලෙසයි.

Neth