Tuesday, November 05, 2024
Follow Us
පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකාව සක්‍රීයව කැප වන බව විදේශ ඇමති කියයි

පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ සංවාදය හා කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකාව සක්‍රීයව කැප වන බව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් යළි තහවුරු කර තිබෙනවා.

ඒ, අමෙරිකාවේ නිව්යෝර්ක් නුවරදී පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රේෂියා ස්කොට්ලන්ඩ් සමඟ පැවති හමුවකදීයි.

පොදුරාජ්‍ය මණ්ඩලයේ ආරම්භක සාමාජිකයෙකු වශයෙන් ශ්‍රී ලංකාව එම සංවිධානයේ සාරධර්ම, මූලධර්ම හා අරමුණු වෙනුවෙන් කැපවී කටයුතු කරන බව විදේශ අමාත්‍ය ජී එල් පීරිස් මෙහිදී සිහිපත් කර තිබෙනවා.

වාණිජ, අධ්‍යාපනය, වෘත්තීය පුහුණුව සහ දේශගුණික විපර්යාස ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් තුළ පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ තවදුරටත් සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරනවා.

ශ්‍රී ලංකාව ආහාර සුරක්ෂිතතාවයෙන් යුත් කෘෂිකාර්මික නිෂ්පාදනය සහ පුනර්ජනනීය බලශක්තිය කෙරෙහි අවධානය යොමු කරමින් මෑතකදී “දේශගුණය සහ හරිත ආර්ථිකය” සඳහා මුල පිරූ බවයි විදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේ.

වෙළඳාම, ක්‍රීඩා කටයුතු, තරුණයින් සහ ප්‍රචණ්ඩ අන්තවාදයට එරෙහිව සටන් කිරීම ඇතුළු පුළුල් පරාසයක කරුණු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලය සමඟ අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳව පොදුරාජ්‍ය මණ්ඩලයේ මහලේකම් පැට්‍රීෂියා ස්කොට්ලන්ඩ් මෙහිදී අගය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව පොදුරාජ්‍ය මණ්ඩලයීය සාමාජික රටවල් 54 න් එකක් වන අතර, 2013 දී පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුව සඳහා ශ්‍රී ලංකාව සත්කාරකත්වය ලබා දුන්නා.


(Neth)