Tuesday, November 05, 2024
Follow Us
ඉන්ධන ණය ගෙවන්න ඇමරිකාවෙන් ඩොලර් බිලියන 2.5 ක ණයක් !

ඉන්ධන ආනයනය සඳහා රාජ්‍ය බැංකුවලින් ලබාගෙන ඇති ණය මුදල් ගෙවීමේ බරපතල අර්බුදයකට මේ වනවිට ඛනි‍ජ තෙල් සංස්ථාව මුහුණ දී සිටී. ඛනිජ තෙල් සංස්ථාව ලංකා බැංකුවෙන් සහ මහජන බැංකුවෙන් ලබාගෙන ඇති ණය මුදල ඇමරිකානු ඩොලර් බිලියන 3.3 ක් බවයි වාර්තා වන්නේ.

මෙම මුදල් නොගෙවීම හේතුවෙන් ලංකා බැංකුව සහ මහජන බැංකුවද අර්බුදයට ගොස් ඇති අතර බැංකු දෙකේ කල්පිරී ඇති ණයවර ලිපි සඳහා ඩොලර් නිකුත් කිරීමද අර්බුදයට ගොස් තිබේ.

මෙම ගැටලුව විසඳා ගැනීම සඳහා ජාත්‍යන්තර වෙළඳපොලෙන් ඇමරිකානු ඩොලර් බිලියන 2.2 ක ණය මුදලක් ලබා ගැනීමට බලශක්ති අමාත්‍යංශය සූදානම් වේ. ඒ සඳහා බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඉදිරිපත් කළ යෝජනාව සඳහා කැබිනට් අනුමැතියද හිමිව තිබේ.

ඇමරිකාවේ 'කන්සෙප්ට් ග්ලෝබල්' නමැති සමාගමෙන් මෙම ණය මුදල ලබා ගැනීමට තීරණය කර ඇති අතර 3% ක වාර්ෂික පෙලී අනුාපතයක් යටතේ කඩිනමින් එම ණය ලබා ගන්නා බවයි බලශක්ති අමාත්‍යංශය පවසන්නේ.

වසර 02 ක සහන කාලයක් සහිතව වසර 12 කදී ණය මුදල පියවීමට සිදු වේ.

මෙතෙක් ලබාගෙන ඇති ණය සඳහා මුදල් ගෙවීමේ අර්බුදයට අමතරව ඉදිරියේදී ඉන්ධන ආනයනය සඳහා මුදල් සොයා ගැනීමේ අර්බුදයකටද බලශක්ති අමාත්‍යංශය මුහුණ දී සිටී. දිගුකාලීන ණය පදනම යටතේ ඉන්ධන ආනයනය කිරීම සඳහා පසුගියදා බලශක්ති අමාත්‍යවරයා රටවල් කිහිපයක තානාපති නිළධාරීන් සමගද සාකච්ඡා පවත්වා තිබිණි.

(LNW)