Tuesday, November 05, 2024
Follow Us
අන්තවාදී මතවාද යුගයේ ප්‍රභලම අභියෝගය බව අගමැති ඉතාලියේදී කියයි

ආර්ථික, දේශපාලන හා සාමාජීය අරමුණු සාක්ෂාත් කරගැනීමේදී බොහෝ සෙයින් අපගේ අනාගතය රඳා පවතිනුයේ එක් ජාතියක් වශයෙන් සිදුවන එකමුතුකම හා සහජීවනය මත බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා.

ඒ, ඉතාලියේ බොලොඤ්ඤෝ නුවර පැවැත්වෙන ජී 20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක සැසිය අමතමින්.

එහිදී අමෙරිකාවට එල්ල වූ සැප්තැම්බර් 11 ප්‍රහාරයේ ඛේදජනක සිදුවීම ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිහිපත් කළා.

අග්‍රාමාත්‍යවරයා පැවසුවේ අන්තවාදී මතවාද සහ ඒ හා බැඳුනු ප්‍රචණ්ඩත්වය අපේ යුගයේ ඇති බරපතලම අභියෝගය බවයි. වැරදිකරුවන් හා ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණු කුමක් වුවත්, එම ප්‍රහාරය සියලු ආකාරයේ ත්‍රස්තවාදී ක්‍රියාවන්ට එරෙහිවීමේ අවශ්‍යතාව සිහිගන්වන බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේ.

එමෙන්ම මේ මොහොතේ ලෝකය අත්විඳින බරපතල සෞඛ්‍ය අර්බුදය අප සියලුදෙනා එක්සත් කිරීමට උපකාර වී තිබෙනවා. කොවිඩ් 19 අර්බුදය විවිධ ආගම්, ජාතීන් සහ ශිෂ්ටාචාර අතර වෙනස්කම් නොපෙන්වන අතර සමස්ථ මානව වර්ගයාට මාරාන්තික පහරක් එල්ල කරන බවයි අග්‍රාමාත්‍යවරයා පැවසුවේ. වසංගතයෙන් බේරී නැවත අපගේ ජීවිතය ආරම්භ කිරීමට නම් ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කළ යුතු බව ද ජී 20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක සැසිය අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළා.

කොවිඩ් වසංගතයට එරෙහිව නූතන වෛද්‍ය විද්‍යාව මගින් ලබාගත හැකි එන්නත් සහ අනෙකුත් ආරක්ෂාව ලොව පුරා තිබිය යුතුයි. ජාත්‍යන්තර සංවිධාන සහ ශක්තිමත් ආර්ථිකයක් පවතින රටවලින් ආධාර ලබාගැනීමට ධනවත් නොවන රටවල් සඳහා විශේෂ විධිවිධාන යෙදිය යුතු වනවා. මෙය යම් පිරිසක් පමණක් නොව සියලුදෙනාම ජයගත යුතු සටනක් බවයි අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේ.

සංහිඳියාව අපේ කාලයේ තීරණාත්මක අවශ්‍යතාවක්. ගැටුම් උත්සන්න වන කලබලකාරී ස්වභාවයන් අප වටා බොහෝ සෙයින් දක්නට ලැබෙනවා. සාමය හා ස්ථාවරත්වය ඇතිවන්නේ අප සමග දැඩි ලෙස එකග නොවන අය ඇතුළුව අපේ රටවල ජීවත්වන සියලුදෙනා සමග පවත්නා යහපත් සබඳතාවලින් බවයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කළේ. අතීතයෙන් හිමිවූ දුක්ගැනවිලි මත වාසය කරනවාට වඩා, වර්තමානය කෙරෙහි අවධානය යොමු කළ යුතු වනවා.

අපේ මතයට වඩා වෙනස් දෘෂ්ටිකෝණයන් සමග එකගතාවයක අවශ්‍යතාව, සහෝදරත්වයේ සහ අවබෝධාත්මක සම්බන්ධතා ගොඩනගා ගතහොත් අප සැවොම බලා සිටින ආශ්වාදජනක නව මායිම් වෙත ලගා විය හැකි බවයි ජී 20 අන්තර් ආගමික සංසදයේ ආරම්භක සැසිය අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ. එම සැසිය ඇමතීම සඳහා තමන්ට ආරාධනා කිරීම සම්බන්ධයෙන් ද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එහිදී සිය ස්තූතිය පළ කළා.

(Neth)