Sunday, October 27, 2024
Follow Us
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කෝවිඩ් තත්ත්වය ඇමරිකානු ජනාධිපතිවරණයට කෙසේ බලපාවිද?

එක්සත් ජනපද ජනාධිපතිවරණය උඩු යටිකුරු වී ඇත.

ඉහත කී වැකිය, දේශපාලන හැලහැප්පීම් සහිත වසරකදී ඕනෑම අවස්ථාවක ලිවිය හැක. නමුත් මේ ආකාරයේ තත්ත්වයක් මේ වසරේ, මේ දශකයේ හෝ මේ සියවසයේ දැක නොමැත.

ජනාධිපතිවරණයට දින 32ක් තිබියදී ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාට කෝවිඩ්-19 ආසාදනය වී ඇතැයි තහවුරු විය. 74 වෙනි වියේ පසු වන ජනාධිපතිවරයාගේ වයස අනුව ඔහු, රෝගය හේතුවෙන් සංකූලතා මතු විය හැකි දැඩි අවදානම් කාණ්ඩයට අයත් වේ. අඩුම තරමින් ප්‍රතිකාර ගන්නා අතරේ ඔහුට නිරෝධායනය වීමට සිදුවනු ඇති අතර ඒ හේතුවෙන් එක්සත් ජනපද ජනපති සටන, අවම වශයෙන් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරය, මූලික වෙනස්කම්වලට ලක් විය.

මැතිවරණ ව්‍යාපාරය අත්හිටුවා ඇත්ද?
මැතිවරණ ව්‍යාපාරයේ මූලික වෙනස්කම් පැහැදිලිවම දැකිය හැක. ජනාධිපතිවරයාගේ කාර්යබහුල මැතිවරණ කාලසටහනට ඇතුලත් මිනසෝටා, පෙන්සිල්වේනියා, වර්ජිනියා, ජෝර්ජියා, ෆ්ලොරිඩා සහ උතුරු කැරොලිනා ඇතුළු පසුගිය සතියට යෙදී තිබුණු සංචාර දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.

ජනාධිපති ට්‍රම්ප්ගේ සංචාර සඳහා ඔහු වෙනුවට යා හැකි වෙනත් නියෝජිතයන් නිසැක වශයෙන් සිටිනු ඇතත් අතීතය දෙස බලන විට එවැනි කර්තව්‍යයන්වලදී ඔහු විශාල වශයෙන් විශ්වාසය තබා ඇත්තේ සිය පවුලේ සාමාජිකයන්, සිය පරිපාලනයේ ජ්‍යෙෂ්ඨයන් සහ මැතිවරණ ව්‍යාපාර මෙහෙයුම් නිලධාරීන් මතය. වෛරසයට නිරාවරණය වී ඇති බැවින් ඒ අතරින් බොහෝ දෙනෙකුට නිරෝධායනය වීමට සිදුවිය හැක. එවැනි තත්ත්වයක් තුළ මැතිවරණ මෙහෙයුමට ද බාධා එල්ල වනු ඇත.

ඔක්තෝබර් 15 වෙනිදා ෆ්ලොරිඩාවේ මයාමි හි සංවිධානය කර ඇති ප්‍රේක්ෂකයන්ට ප්‍රශ්න යොමු කළ හැකි ආකාරයේ මීළඟ ජනාධිපතිවරණ වාදය පැවැත්වෙනු ඇත්දැයි යන්න පවා සැක සහිතය. ඇතැම්විට එම වාදය අන්තර්ජාල 'වීඩියෝ කොන්ෆරන්ස්' ආකාරයෙන් පැවැත්වීමට ඉඩ ඇත. නමුත් බොහෝ විට එය තීරණය වනු ඇත්තේ ඒ මොහොතේ ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය මතයි.

මැතිවරණ කාලසටහනෙහි වෙනසක් කිරීම පිළිබඳ බරපතල මට්ටමේ සාකච්ඡාවක් මේ මොහොතේ නොමැත. එවැනි වෙනසක් අවශ්‍ය නම් ඩිමොක්‍රටික් පක්ෂයට බහුතරය හිමි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සහ රිපබ්ලිකන් පක්ෂයට බහුතරය හිමි සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව පනතක් සම්මත විය යුතුය.

ඇතැම් ප්‍රාන්තවල මේ වන විටත් ඡන්දය ප්‍රකාශ කිරීම ආරම්භ වී ඇත.

මේ තත්ත්වය මත විමසුම්වලට කෙසේ බලපායිද?

මේ සමග දේශපාලන වෙනස්කම් මතු වේ.

කොරෝනා වෛරස් වසංගතය සහ ඒ හේතුවෙන් මුහුණ පා ඇති ආර්ථික බාධා, ජෝර්ජ් ෆ්ලොයිඩ් නමැති කළු ජාතිකයාගේ මරණයත් සමග ආයතනගත ජාතිවාදය සහ පොලිසියේ කෘරත්වයට එරෙහිව දීපව්‍යාප්ත උද්ඝෝෂණ සහ ඇතැම් අවස්ථාවල එක්සත් ජනපදයේ ප්‍රධාන නගර ගණනාවක හටගත් ප්‍රචණ්ඩකාරී කලබල මෙන්ම ට්‍රම්ප් පාලන කාලය පුරා දිනපතාම වාගේ දක්නට ලැබුණු මතභේද වැනි අවුල් සහගත තත්ත්වයන් මේ වසරේ දක්නට ඇතත් මෙවර ජනාධිපතිවරණ තරඟය විශිෂ්ඨ ආකාරයේ ස්ථාවර මට්ටමක පවතී.

ඩිමොක්‍රටික් පක්ෂ අපේක්ෂක ජෝ බයිඩන් ජාතික මට්ටමේ මත විමසීම්වලින් මාස ගණනාවක් සංඛ්‍යාත්මක වශයෙන් සැලකිය යුතු ලෙස ඉදිරියෙන් සිටී. කුඩා වුවත් සැලකිය යුතු මට්ටමින් වාසිසහගත ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් කරට කර සටනක් දක්නට ඇති ප්‍රාන්ත තුළ ද එම තත්ත්වය දැකිය හැක. ජනාධිපති ට්‍රම්ප්ට කොරෝනා වෛරසය ආසාදනය වීමේ පුවත අසන්න ලැබීමට පෙර පවා මේ ගතිකය වෙනස් කිරීම සඳහා ජනාධිපතිවරයාට ඇති කාලය ඉක්මවමින් පැවතිනි.

කොරෝනාවෛරස් වසංගතය ඉදිරියේ ජනාධිපතිවරයා කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් මහජනයා නිරන්තරයෙන් ඔහුට ලබා දී ඇත්තේ අඩු ලකුණු සංඛ්‍යාවකි. එබැවින් රෝගය සම්බන්ධයෙන් අවධානය යොමු කෙරෙන ඕනෑම දෙයක් යළි ජනාධිපති පුටුවට පත්වීම සඳහා ඔහු සතු බලොපොරෝත්තුවට හානි ගෙන දිය හැක. කෝවිඩ්-19 ඉදිරියේ, ඇතැම් අවස්ථාවල ජනාධිපතිවරයා උඩඟු ස්වරූපයකින් කටයුතු කළ බවට බොහෝ දෙනෙකු කරන චෝදනාව ජනාධිපතිවරයාට පිළිතුරු දීමට අපහසු ගැටලුවක් වනු ඇත.

පසුගිය අඟහරුවාදා පැවති ජනාධිපතිවරණ වාදයේදී, නිතර මුඛ ආවරණ පැළඳීම සහ තමාගේ ප්‍රමාණයට ගැලපෙන පරිදි මැතිවරණ ප්‍රචාරණ රැළි නොපැවැත්වීම සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් සිය ප්‍රතිවාදී ජෝ බයිඩන් පහත් කොට සැලකීය.

"මම, ඔහු වගේ මුඛ ආවරණ පළඳින්නේ නැහැ," යනුවෙන් ජනාධිපති ට්‍රම්ප් එහිදී පැවසීය. "දකින්නේ කොයි වෙලේද ඒ හැම විටම ඔහු මුඛ ආවරණයක් පැළඳ සිටිනවා,"

සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීම සහ වෛරසය සැහැල්ලුවෙන් නොගැනීමේ වැදගත්කම පෙන්වා දෙන අතරේම ජනාධිපති ට්‍රම්ප් ප්‍රශ්න සහගත ප්‍රකාශ ගෙනහැර දැක්වීය. ඔහු වරෙක කීවේ වෛරසය "මැජික් එකක් මෙන්" අතුරුදහන් විය හැකි බවය. එමෙන්ම වෛරසය පාලනය කිරීම සඳහා දැඩි ලිහිල් ප්‍රතිපත්ති අනුගමනය කළ සහ ජනාධිපතිවරයාගේ කැමැත්ත පරිදි නොගොස් ව්‍යාපාර සහ පාසල් විවෘත කිරීමට කල් ගත් බලධාරීන් ඔහුගේ වාචික ප්‍රහාරයන්ට ලක් විය.

ජනාධිපති ට්‍රම්ප්ට කොරෝනාවෛරසය ආසාදනය වීම දක්වා යොමු වනු ඇති ඉහත කී අදහස් එක් තැනක නතර වෙයි: කොරෝනාවෛරස් වසංගතය ඉදිරියේ ජාතික මට්ටමින් ප්‍රතිපත්ති සැකසීම සහ ජනාධිපතිවරයාගේ සෞඛ්‍යය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් අත්‍යවශ්‍ය, ප්‍රමුඛ සැලකිල්ලක් යොමු වන ධවල මන්දිරය පිළිබඳ ජනාධිපති ට්‍රම්ප් බරපතල අවදානයක් යොමු කර ඇත්දැයි යන ප්‍රශ්න එහිදී යළි මතු වෙයි.

ඩිමොක්‍රටික් පක්ෂය ඉදිරියේ ඇති අවදානම කෙබඳුද?

රටම අවුල් සහගත තත්ත්වයකට පත් විටකදී ඇමරිකානුවන් ජනාධිපතිවරයාට සහාය පතා රැස් වීමේ නැඹුරුවක් පවතී. වෛරසය සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් සහ ඔහුගේ පරිපාලනය දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක් වනු ඇතත් ඔහු සහ ඔහුගේ බිරිඳ වෙත රටේම අනුකම්පාව සහ ඉක්මන් සුවය පතා කෙරෙන ප්‍රර්ථනාවන් ද ලැබෙනු ඇත.

ඩිමොක්‍රටික් පක්ෂය සහ ජනාධිපති ට්‍රම්ප්ගේ විවේචකයන් "මෙහෙම වෙයි කියල අපි කිව්වා" වැනි සාමූහික ප්‍රතිචාරයක් පළ කිරීමට ඉඩ ඇති අතර දේශපාලන ඵල දීමක් වශයෙන් තමන් විසින්ම සලකනු ලබන තත්ත්වය පිළිබඳ ඔවුන් සතුටු විය හැක. නමුත් ජනයා මුහුණ දී ඇති බරපතල තත්ත්වය ඉදිරියේ එසේ කිරීම ඔවුන්ට අවදානම් සහගතය.

මේ මොහොත වන විට කෝවිඩ්-19 හේතුවෙන් ඇමරිකානුවන් දෙලක්ෂයකට අධික සංඛ්‍යාවක් මරණයට පත්ව ඇත. වින්දිතයාටම වරද පටවන ආකාරයේ ප්‍රතිචාරයක් එකී මරණ හමුවේ ශෝකයට පත් පවුල්වල ඥාති හිතමිතුරන්ගේ සතුටට හේතු නොවනු ඇත.

ඊට ප්‍රතිචාර දක්වන ආකාරය බයිඩන්ගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයට අභියෝගයක් වනු ඇත. පිටතට නිරාවරණය වීමේ අවදානම සීමා කර ගැනීම සඳහා ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂකයා එතරම් පිටතට පැමිණ නැත. ඔහු සිය නිවසේ "සැඟව" සිටින බවට ජනාධිපති ට්‍රම්ප් ඇතුළු රිපබ්ලිකන්වාදීන් සමච්චල් කර තිබේ.

කෙසේ වුවත් මෑතකදී බයිඩන් තමාම ඉදිරිපත් වී කරන ප්‍රචාරණ කටයුතු ඉහළ නංවා ඇත. බදාදා ඔහයෝ සහ පෙන්සිල්වේනියාවේ බටහිර ප්‍රදේශයේ දුම්රිය ඔස්සේ සංචාරක යෙදීම ද ඊට ඇතුළත්ය. පසුගිය කාලයේ ට්‍රම්ප්ගේ මැතිවරණ ව්‍යාපාරය බැහැර ගොස් පුද්ගල සහභාගිත්වයෙන් ඡන්ද කටයුතුවල යෙදීම විවේචනය කර ඇතත් ගෙයින් ගෙට ගොස් කෙරෙන මැතිවරණ ප්‍රචාරක කටයුතු යළි ආරම්භ කරනු ඇති බව ඩිමොක්‍රටික් ප්‍රචාරණ ව්‍යාපාරය නිවේදනය කර තිබේ.

ජනාධිපති ට්‍රම්ප් සිය සංචාරයන්ගෙන් බැහැරව ප්‍රතිකාර ලබන අතරේ බයිඩන් සිය මැතිවරණ කටයුතු අත්හිටුවන හැඩක් දක්නට නොලැබේ. නමුත් සිය මෑතකාලීන මැතිවරණ ප්‍රචාරක කටයුතු තවදුරටත් අඩු කළ යුතුද නැද්ද යන්න පිළිබඳ ඔවුන්ට යළි ඇගයීමක් කිරීමට සිදු විය හැක.

ජනාධිපති ට්‍රම්ප් සහ ආර්යාව මෙලනියා ට්‍රම්ප්ට තමන් සහ තම බිරිඳ ඉක්මන් සුවය ප්‍රර්ථනා කරන බව පවසමින් ජෝ බයිඩන් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ. "ජනාධිපතිවරයා සහ ඔහුගේ පවුලේ සාමාජිකයන්ගේ සෞඛ්‍ය සහ ආරක්ෂාව වෙනුවෙන් අප නොනවත්වා යාඥා කරනු ඇති," යනුවෙන් එහි වැඩිදුරටත් සඳහන් විය.

ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂකයා සිය පක්ෂය වෙත ප්‍රවේශම් සහගත ප්‍රතිචාරයක් ලබා දෙමින් සිටියත් ඇතැමෙකුට එය තේරුම් ගැනීම අපහසු විය හැක.

ඇති විය හැකි වෙනත් ප්‍රතිඵල මොනවාද?

දේශපාලනික වශයෙන් බලපෑමක් එක් කළ හැකි වෙනත් කරුණු අතර එක්සත් ජනපදයේ ඉහළ පුටු දක්වා කෙතරම් දුරක් වෛරසය පැතිර ගොස් ඇත්ද යන්න සහ ජනාධිපතිවරයා සිය ප්‍රතිකාරවලට දක්වන ප්‍රතිචාරය ප්‍රධාන වේ.

එමෙන්ම දේශපාලනික අවිනිශ්චිතභාවය ආර්ථිකයට තවදුරටත් බලපා හැක. මහජන විශ්වාසය වේගයෙන් පහළ වැටීම සහ ව්‍යාපාරවල ලාභ පහළ යාම ඒ අතර ප්‍රධාන වේ.

වෛරසය ආසාදනය වීම පිළිබඳ බිය ජනාධිපතිවරයා ද ඊට ගොදුරු වීම නිසා තියුණු වී ඇති බැවින් ඒ හේතුවෙන් ඡන්ද මධ්‍යස්ථාන වෙත නොගොස් තැපැල් ඡන්ද භාවිතය කෙරෙහි ඇමරිකානුවන් තවදුරටත් යොමු විය හැක. එවැනි තත්ත්වයක් තුළ ඡන්ද ප්‍රතිඵල ප්‍රමාද වීමට ඉඩ ඇත. ඡන්ද ප්‍රතිඵල අනුව ජයග්‍රාහකයා තීරණය කිරීම අධිකරණය දක්වා දික්ගැස්සීමට ද ඉඩ තිබේ.

තද කුනාටු සහිත වසරක දැවැන්තම කුනාටුව තව ඉදිරියේ විය හැක.

(BBC)