Sunday, October 27, 2024
Follow Us
මහින්ද සහ මෝදි අතර සාකච්ඡා අනිද්දා

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි අතර වීඩියෝ තාක්ෂණය ඔස්සේ ද්විපාර්ශවික සමුළුවක් ලබන සෙනසුරාදා දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ, ඉන්දිය අග්‍රාමාත්‍යවරයා සමග පැවැති දුරකථන සංවාදයක දී මෙම සමුළුව පැවැත්වීම සම්බන්ධයෙන් එකඟතාව පලවී තිබු බවය.

පසුගිය අගෝස්තු 06 වන දින අභිනවයෙන් පත් වු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමඟ දුරකථන සංවාදයක් පැවැත් වු ඉන්දිය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විඩියෝ තාක්ෂණය ඔස්සේ දෙරට අතර සමුළුවක් පවත්වා බහුවිධ ද්විපාර්ශවික සබඳතාවය සමාලෝචනය කිරීමට තීරණය කර තිබේ.

මෙහිදී දේශපාලන, ආර්ථික, මූල්‍ය, සංවර්ධනය, ආරක්ෂක ,අධ්‍යාපනික, සංවාරක සහ සංස්කෘතික කටයුතු මෙන්ම අනනෝන්‍ය වශයෙන් උනන්දුවක් දක්වන කලාපීය හා ජාත්‍යන්තර ගැටලුවලදී ද්විපාර්ශවික මැදිහත්විම් යනාදි කරුණු පිළිබඳව අවධානය යොමු කිරිමට නියමිතය.

මෙම සමුළුව සඳහා දෙරටේ අදාළ ක්ෂේත්‍රවල විෂය භාර අමාත්‍යවරුන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරින් ද එක්වනු ඇති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේ ය.

පසුගිය මාසයේ දී අග්‍රාමාත්‍යධුරයට පත්වීමෙන් අනතුරුව මහින්ද රාජපක්ෂ මහතා විදේශ රටක නායකයෙකු සමග විඩියෝ තාක්ෂණය ඔස්සේ පවත්වනු ලබන පළමු සමුළුව මෙය වෙයි.

(Lanka Leads)