Sunday, October 27, 2024
Follow Us
යුරෝපයේ කොරෝනා වෛරස් ආසාදිතයන් වැඩි වෙමින් පවතී

පැය 24ක් ඇතුළත වාර්තා වූ වැඩිම කොරෝනාවෛරස් ආසාදිතයන්ගේ ගණන ප්‍රංශයෙන් නිවේදනය කෙරිණි.

ප්‍රංශ බලධාරීන් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ පසුගිය අඟහරුවාදා දිනය තුළ පමණක් ආසාදිතයන් 9,843 දෙනෙකු හඳුනාගත් බවය.

ඊට පෙර දිනයේ වාර්තා වූයේ ආසාදිතයන් 900කට ආසන්න ප්‍රමාණයක් පමණි.

වසංගතය පාලනය කිරීම සඳහා දැඩි ක්‍රියාමාර්ග හඳුන්වා දීම සඳහා ප්‍රංශ අමාත්‍යවරුන් සහ සෞඛ්‍ය බලධාරීන් කැඳවා තිබුණු රැස්වීමේ දී මෙම සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කෙරිණ.

කෝවිඩ් 19 වැළඳී වැඩිම පිරිසක් මරණයට පත්වූ රටවල් සහිත ලයිස්තුවේ හත්වන ස්ථානයේ සිටින්නේ ප්‍රංශයයි.

මේ වන විට 30,800කට වැඩි පිරිසක් කෝවිඩ් රෝගයෙන් මරණයට පත් වී ඇති බව ප්‍රංශ නිල වාර්තා සනාථ කර තිබේ.

ප්‍රංශ රෝහල්වල දැඩි සත්කාර ඒකක තුළට ඇතුලත් කර ඇති රෝගීන්ගේ සංඛ්‍යාව ද ඉහළ ගොස් ඇති බව වාර්තා විය.

එමෙන්ම, යුරෝපයේ අනෙකුත් රටවල ද කොරෝනාවෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව ඉහළ මට්ටමකට පත්ව තිබේ.

එක්සත් රාජධානියෙන් දිනකට වාර්තාවන ආසාදිතයන් ගේ ගණන 2,000ක් දක්වා පමණ ඉහළ ගොස් ඇති අතර එම තත්වය පසුගිය දින පහ පුරාම පැවතිණි.

මෙම තත්වය යටතේ යළිත් නීති රීති දැඩි කිරීමට එංගලන්තය පියවර ගනිමින් සිටී. ඒ අනුව ඒකරාශී විය හැකි පුද්ගල සංඛ්‍යාව හයකට සීමා කිරීමට තීරණය කර තිබේ.

කෝවිඩ් 19 රෝගීන් ලක්‍ෂ පහකට අධික පිරිසක් වාර්තා වූ යුරෝපා හවුලේ ප්‍රථම රට බවට ස්පාඤ්ඤය පත් වී තිබේ. ඉන් ලක්‍ෂයක් පමණ රෝගීන් වාර්තා වුයේ පසුගිය මාසය ඇතුළත ය.

එලැඹෙන ඔක්තෝම්බර් සහ නොවැම්බර් මස දෙක තුළ යුරෝපය පුරා වාර්තා වන කොරෝනාවෛරස් ආසාදිතයන්ගේ සංඛ්‍යාව නැවතත් ඉහළ යා හැකි බවට ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා තිබේ.

රටවල් කිහිපයකම ආසාදිතයන් වැඩි වශයෙන් සොයා ගනු ලැබූ ප්‍රදේශවලට පමණක් බලපැවැත්වෙන පරිදි ලොක්ඩවුන් නීති පැනවීම සිදු විය. මුහුණු ආවරණ පළඳින ලෙසත් සමාජයීය දුරස්ථභාවය පවත්වාගන්නා ලෙසත් නැවත ඉල්ලීම් නිකුත් කෙරිණි.

කෙසේ නමුත් බොහෝ රටවල පාසැල් නැවත විවෘත වූ අතර මාස කීපයකට පසුව සිසුන් පාසල් කරා යන්නට පටන් ගෙන තිබේ.

ලොක්ඩවුන් නීති ලිහිල් කිරීමෙන් අනතුරුව කොරෝනාවෛරස් ආසාදිතයන් වාර්තා වීම ඉහළ ගොස් ඇත්තේ යුරෝපයේ පමණක් නොවේ. පේරු රාජ්‍යය, ඊශ්‍රායලය, දකුණු කොරියාව සහ ඕස්ට්‍රේලියාව ද එවැනිම තත්වයක් පෙන්නුම් කර තිබේ.

BBC
ආසාදිතයන් මිලියන 30කට ආසන්න ප්‍රමාණයක් ගොදුරු කර ගනිමින් කොරෝනාවෛරසය ලොව පුරා රටවල් 188ක තවමත් ව්‍යාප්තවෙමින් පවතී. ලොව පුරා වාර්තා වූ කෝවිඩ් 19 මරණ සංඛ්‍යාව ද වේගයෙන් මිලියනය දක්වා ළඟා වෙමින් පවතී.

වැඩිම ආසාදිතයන් වාර්තාවූ ලයිස්තුවේ දෙවන ස්ථානයට සිටින ඉන්දියාවෙන් දිනකට කෝවිඩ් 19 රෝගීන් 90,000ක් පමණ වාර්තා වෙයි. ලයිස්තුවේ පළමු ස්ථානයේ සිටින්නේ එක්සත් ජනපදයයි.

ඉන්දියාවෙන් වැඩි රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වෙමින් පවතින නමුත් එරට ආර්ථිකය යළි නගා සිටුවීමේ අරමුණින් සීමා ලිහිල් කරමින් සිටී. එමෙන්ම ආසාදිතයන් හඳුනාගැනීම සඳහා සිදු කෙරෙන වෛද්‍ය පරීක්ෂණ ද වැඩි කර තිබේ.

ඉන්දියාවේ ජනගහනය සමඟ සංසන්දනය කළ විට තවමත් මරණ සංඛ්‍යාව පවතින්නේ පහළ අනුපාතයක ය. කෙසේ නමුත් පසුගිය සැප්තැම්බර් 2වැනිදා පටන් සමස්ත ඉන්දියාවෙන් දිනකට වාර්තාවන කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 1000කට ආසන්නය.

මුළු ලෝකයෙන් ම වාර්තා වී ඇති කොරෝනාවෛරස් ආසාදිතයන්ගේ ප්‍රමාණයෙන් 25%ක් පමණ සිටින්නේ ඇමරිකා එක්සත් ජනපදයේ ය. එම සංඛ්‍යාව මිලියන හය ඉක්මවා තිබේ.

එක්සත් ජනපදයෙන් දිනකට වාර්තා වන ආසාදිතයන්ගේ ප්‍රමාණය පසුගිය ජුලි මාසයේ දී නැවත ඉහළ ගිය නමුත් මේ වන විට එම සංඛ්‍යාව අඩු වෙමින් පවතී.

මේ දක්වා එක්සත් ජනපදය තුල සිදු වූ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව ලක්ෂ දෙකකට ආසන්නය. එය ඕනෑම රටකින් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාව ලෙස වාර්තාගත වී තිබේ.

ලතින් ඇමරිකානු රටවල් අතරින් වැඩිම කොවිඩ් 19 මරණ සංඛ්‍යාව වාර්තා වුයේ බ්‍රසීලයෙනි. එය මේ වන විට 130,000ක් පමණ වෙතැයි නිල වාර්තා සඳහන් කරයි.

බ්‍රසීලයේ හඳුනාගත් කොවිඩ් 19 රෝගීන්ගේ මුළු ගණන මිලියන හතර ඉක්මවා ඇති අතර වැඩිම රෝගීන් ප්‍රමාණයක් නිල වශයෙන් වාර්තා වූ රටවල් අතර තුන්වැනි ස්ථානයේ පසුවන්නේ ඔවුන්ය.

ලතින් ඇමරිකානු කලාපයේ අනෙකුත් රටවල් වල ද කොරෝනාවෛරස් ආසාදිතයන් වාර්තා වීම වැඩි වෙමින් පවතී. ආජන්ටිනාවේ මේවන විට හඳුනාගෙන ඇති මුළු ආසාදිතයන්ගේ ගණන ලක්ෂ පහකට අධිකය.

කෝවිඩ්-19: බිලියන හතකට එන්නත් ලබා දෙන්නේ කෙසේද?
කොරෝනා වෛරස ලෝක සිතියම: එක් එක් රටවල ආසාදිතයින් සහ මරණ සංඛ්‍යාව කොපමණද? ශ්‍රී ලංකාවේ කොපමණද?
මැදපෙරදිග රටවල් අතරින්, කොරෝනා වෛරස් වසංගතයෙන් දැඩි පීඩාවකට ලක් වූයේ ඉරානයයි. ඉරානයේ සිදු වී ඇති කෝවිඩ් 19 මරණ සංඛ්‍යාව 23,000ක් බව එරට නිල වාර්තා සඳහන් කළත් ඊට දෙගුණයකටත් වඩා වැඩි පිරිසක් මරණයට පත් වී ඇති බව බීබීසී පර්සියානු සේවය කළ ගවේෂනයකදී හෙළි විය.

ඉරාකයේ ද ආසාදිතයන්ගේ ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.

ඉන්දුනීසියාවෙන් වාර්තා වූ කොවිඩ් 19 මරණ සංඛ්‍යාව 9,000කට ආසන්න වී ඇති අතර එය අග්නිදිග ආසියානු රටකින් වාර්තා වූ ඉහළම අගයයි. එරට ආසාදිතයන්ගේ ප්‍රමාණය ද ඉහළ යමින් පවතී.

අප්‍රිකානු මහාද්වීපයෙන් මේ වන විට කොරෝනාවෛරස් ආසාදිතයන් දස ලක්ෂයකට අධික පිරිසක් නිල වශයෙන් වාර්තා වී තිබේ. නමුත් අප්‍රිකානු රටවල වසංගතය පැතිරී ඇති මට්ටම පිළිබඳව තවමත් පැහැදිලි තක්සේරුවක් නොමැත. එම රටවල සිදුවන වෛද්‍ය පරීක්ෂණ ඉතා අවම මට්ටමක පවතී.

කෙසේ නමුත් නිල වාර්තාවලට අනුව එම කලාපයේ වැඩිම ආසාදිතයන් වාර්තා වී ඇත්තේ දකුණු අප්‍රිකාවෙන් සහ ඊජිප්තුවෙනි.

(BBC)