Sunday, October 27, 2024
Follow Us
ඇෆ්ඝනිස්ථාන බෝම්බය: උප ජනාධිපති නූලෙන් බේරෙයි

ඇෆ්ඝනිස්තානයේ කාබුල් අගනුවර බදාදා (සැප් 09) එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් අවම තරමින් පුද්ගලයින් 10 දෙනෙක්වත් මරුමුවට පත්වූහ.

පළමු උප ජනාධිපති අම්රුල්ලාහ් සලේහ් ඉලක්ක කරමින් ප්‍රහාරය එල්ල කර තිබේ.

ඇෆ්ඝනිස්තාන බුද්ධි සේවයේ හිටපු ප්‍රධානියා වන සලේහ්, සුළු පිළිස්සුම් තුවාල ලැබුවත් දිවි ගලවා ගැනීමට සමත්ව ඇත.

පිපිරීම වූ ස්ථානයෙන් විශාල කළු දුමාරයක් නැගෙන අයුරු, සිද්ධියෙන් සුළු වෙලාවකට පසු පටිගත කරන ලද වීඩියෝ දර්ශනවල දැකගත හැකිය.

මෙම පිපිරීම වූයේ ඇෆ්ඝන් නිලධාරීන් හා තලිබාන් සංවිධානය සිය පළමු නිල සාකච්ඡා ආරම්භ කිරීමට සූදානම් වෙමින් සිටියදීය.

උප ජනාධිපති සලේහ් තාලිබාන් සංවිධානයට විරුද්ධ මත දරන්නෙකු ලෙස හැඳින්වේ. ඔහු මීට පෙර ඝාතන ප්‍රයත්න කිහිපයකදීම දිවි ගලවාගත් අතර, පසුගිය වසරේදී ඔහුගේ කාර්යාලයට එල්ලවූ ප්‍රහාරයේදී පුද්ගලයන් විසිදෙනෙක් මියගියහ.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් තාලිබාන් ප්‍රකාශක සබිහුල්ලාහ් මුජාහිඩ් පැවසුවේ ප්‍රහාරයට සිය සන්නද්ධ කණ්ඩායමේ සම්බන්ධයක් නැති බවකි.

සිය සේවාස්ථානයට යමින් සිටි උප ජනාධිපති සලේහ් ගේ මෝටර් රිය පෙළ ප්‍රහාරකයන්ගේ ඉලක්කය වී ඇති බව ඇෆ්ඝනිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

පිපිරීමෙන් අනතුරුව ප්‍රකාශයක් කළ උප ජනාධිපති සලේහ්, සිය දේශපාලන ක්‍රියාකාරීත්වය තවදුරටත් පවත්වාගෙන යන බවට සපථ කළේය.

වහාම ඔහු මුණ ගැසුණු ඇෆ්ඝනිස්ථාන ජනාධිපති අෂ්රෆ් ඝානි, ප්‍රහාරය හෙළා දුටුවේය.

"ත්‍රස්තවාදීන්ටත් ඔවුන්ගේ විදේශීය සහයකයින්ටත්, සාමය පිළිබඳ ජනතාවගේ ඇති බලවත් විශ්වාසය මෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය හා අප රටේ දීප්තිමත් අනාගතය බිඳ දැමිය නොහැකියි." යයි නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ඝානි පැවසීය.

ඇෆ්ඝනිස්ථානයේ සිටින යුරෝපා සංගමයේ නියෝජිත මණ්ඩලය ද ප්‍රහාරය හෙළා දිටීය.

දිගු කලක් පමාවෙමින් තිබූ, තාලිබාන් සංවිධානය සමග සාකච්ඡා කටාර් හිදී ඇරඹීම සඳහා ඇෆ්ඝන් නිලධාරීන් සුදානම් වෙමින් සිටියේ වසර ගණනක ලේ වැගිරීමකින් අනතුරුව දේශපාලන සංහිඳියාවක් ගොඩනැගීමේ අරමුණ ඇතිවය.

(BBC)