Saturday, October 19, 2024
Follow Us
2025 අයවැය ලේඛනය සකස් කිරීම විශේෂයි

2025 අයවැය ලේඛනය සකස් කිරීම ඉතිහාසයේ මීටපෙර සිදුකළ ආකාරයට වඩා වෙනස් ආකාර‍ෙන් සිදුකළ යුතු බව ප්‍රවාහන , මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක,  අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව පැවසුවේ පසුගියදා(18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමිණි.

මින් ඉදිරියට දේශපාලක්ඥයින්ට කැමති පරිදි අයවැය ලේඛනය සකස් කළ නොහැකි වන පරිදි පනත් 05ක් පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකාවේ නව මහ බැංකු පනත් කෙටුම්පත, ණය පාලන පනත, රාජ්‍ය මූල්‍ය වගකීම් පනත, ආර්ථික පරිවර්තන පනත සහ දූෂණ විරෝධී පනත යන පනත් පහ  මේ වන විට සම්මත කරගෙන ඇති බවත් මෙම පනත් පහ සකස් කර තිබෙන්නේ ජනතාවගේ ආරක්ෂාවට බවත් අමාත්‍යවරයා  සඳහන් කළේය.

මීට පෙර අයවැය ලේඛන සකස් කිරීමේදී,  රාජ්‍ය අයවැයේ නොපියවූ මුදල් පරතරයක් තිබේනම්, මුදල් අච්චු ගැසීමේ හැකියාව තිබූ බවත්,  නමුත්  නව මහබැංකු පනත යටතේ කුමන රජයකට වුවද මුදල් අච්චු ගැසිය නොහැකි බව අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම මීට පෙර අයවැය සකස් කිරීමේදී ජාත්‍යන්තර වෙළෙඳපළින් ණය ගැනීමේ හැකියාව තිබූ බවත් නමුත්  ණය පාලන පනත අනුව මින් ඉදිරියට එලෙස සිදුකළ නොහැකි බවද කීය.

මූල්‍ය කළමනාකරණ වගකීම් පනතට අනුව පාර්ලිමේන්තුවේ මේ වනවිට,  අයවැය කාර්යාලයක් ස්ථාපිත කර ඇති බවත්,  විශේෂඥ දැනුම ඇති කණ්ඩායමක් විසින් අයවැය ලේඛනය ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ,

"ආණ්ඩුව ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කර තිබෙනවා. එහි ඉලක්ක ගණනාවක් තිබෙනවා. 2027 වන විට මෙරට දළ දේශීය නිෂ්පාදනය 5%ක වේගයෙන් වර්ධනය විය යුතුයි. එය මෙතෙක් කල් පැවතුනේ සෘණ අගයකයි. 2027 න් පසු අප 8%ක ආර්ථික වර්ධන වේගයක් කරා යා යුතුව තිබෙනවා. රට සංවර්ධනය වන විට එහි ආර්ථික වර්ධන වේගය වසර 15ක්වත් 8%ක මට්ටමේ තබා ගත යුතුයි. කාන්තා ශ්‍රම සහභාගිත්වය 40% වැඩි කළයුතුයි. මෙම ඉලක්ක පාර්ලිමේන්තුවේ සම්මත කරගෙන තිබෙනවා. "